16/06/2026
කුමාර කියන්නේ ලංකාවේ බැංකුවක දහඩිය හෙලලා වැඩ කරපු, හැබැයි මාසේ අන්තිමට බස් එකටයි බඩගින්නටයි විතරක් සල්ලි ඉතුරු වුනු සාමාන්‍ය තරුණයෙක්.
තමන්ට තිබ්බ ආර්ථික අර්බුදය හමුවේ තමන්ගේ හීන මැලවෙන්න ගනිද්දී, කුමාර තීරණය කළා තමන් සන්තකයේ තිබ්බ එකම වාහනයනයයි, අම්මගේ රත්තරන් බඩුයි සේරම උගස් කරලා දිව්‍ය ලෝකයක් වගේ පෙනුනු ඕස්ට්‍රේලියාවට පියඹා යන්න.
හැබැයි සිඩ්නි ගුවන් තොටුපළෙන් එළියට බහිද්දිම කුමාරට තේරුණා එහේ සුරංගනා කතාවක් නෙමෙයි, අහස උසට නැගුණු ජීවන වියදමකුත් සීතල හුදෙකලාවකුත් තමන්ව පිළිගන්න බලාගෙන ඉන්නවා කියලා.
ලංකාවේ ටයි කෝට් දාලා AC කාමරවල හිටපු කුමාරට ඔසී වල මුල්ම මාස කිහිපයේ උරුම වුණේ සුපර්මාර්කට් වල බර ඇදීමයි, මැදියම් රැයේ සීතල වෙවුලන පාරවල් දිගේ Uber Eats කෑම පැකට් බෙදන එකයි.
හැබැයි පුදුමෙකට වගේ මාස හයක් යද්දී, කුමාර තමන්ගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සිඩ්නි ඔපෙරා හවුස් එක ගාව දිලිසෙන නිල් පාට බොනට් එකකට හේත්තු වෙලා "ඔසී තරම් රටක් ලෝකෙකවත් නෑ, මේක තමයි පාරාදීසය!" කියලා ලස්සනම ලස්සන පින්තූරයක් පළ කළා.
ඇත්තටම කුමාර විතරක් නෙමෙයි, ඔසී වලට වඩා දහස් ගුණයකින් නිදහස්, පිරිසිදු, සුන්දර පරිසරයක් තියෙන නවසීලන්තයේ පදිංචි වෙලා ඉන්න මිනිස්සු පවා එහේ තියෙන අධික බදු බරයි, පුංචි රැකියා වෙළඳපොළයි නිසා හැමදේම දාලා දුවගෙන එන්නේ ඔසී වලටමයි.
කුමාරලාට එහේ පැය 12ක් වහලෙක් වගේ මහන්සි වෙන්න වුණත්, දවස අවසානයේ ලැබෙන ඩොලර් තමන්ගේම කියලා ලස්සන වාහනයක් ගන්න, රසට කන්න, නිදහසේ සංචාරය කරන්න වගේම කාටවත් අත නොපා කොන්ද කෙළින් තියාගෙන ජීවත් වෙන්න පුළුවන් වටිනාකමක් ලැබෙනවා.
කාර්යාලයේ ලොක්කාගේ ඉඳන් පාර අතුගාන ක්ලීනර් වෙනකම් හැමෝටම සමානව සලකන සමාජ ක්‍රමය, නොමිලේ ලැබෙන සුපිරි සෞඛ්‍ය පහසුකම් සහ නීතියේ තියෙන සාධාරණත්වය නිසාම කුමාරට ඔසී රට "පට්ටම පට්ට" රටක් වුණා.
හැබැයි මේ සුන්දර කතාව ඇතුළේ ලොකුම හැරවුම් ලක්ෂ්‍යය සටහන් වුණේ ලංකාවේ ඉන්න කුමාරගේ පණ වගේ යාළුවෙක් වෙච්ච නන්දන, "මචං මටත් එහේ එන්න පාරක් හදලා දීපන්කෝ, මමත් ඔසී එන්නයි හදන්නේ" කියලා WhatsApp මැසේජ් එකක් දාපු දවසේ.
ඒ මැසේජ් එක දැකපු ගමන් කුමාර මොහොතක් ගල් ගැසුණා, ඊටපස්සේ හෙමින් සැරේ ටයිප් කළේ, "අනේ මන්දා මචං, මෙහේ දැන් ඉස්සර වගේ නෙමෙයි, පට්ටම රස්සා හිඟයක් තියෙන්නේ, හැමදේම ගණන් ගිහින්, උඹ මෙහෙ ඇවිත් නම් වැඩක් නෑ, එන්න එපා" කියලා.
ඊටත් පස්සේ තමන් මේක සමාජ සත්කාරයක් විදියට කරනවා කියපු කුමාර තමන්ගේ page එකට ගිහින් පත හෑල්ලක් දිග ඇරියෙ මෙන්න මෙහම.
'මෙහෙනම් එන්නම එපා මෙහේ ගෙවල් වල ගණන් ගිනි ගණන්, අඩේ අවුරුද්දක පඩිය වගේ 13.8 ගුණයක් යනවා ගෙයක් ගන්න. බඩු වල ගණන් වැඩියි. බ්ලා බ්ලා බ්ලා..... මේ වගේ පුලුවන් තරම් පත හෑල්ලක් පත බාපු කුමාරට දැනුනේ ලොකු සැනසිල්ලක්.
ආයිනම් ලංකාවේ එකෙක් මෙහෙට එන්න අහන්නනේ නෑ කියලා තමන්ටම කියා ගත්ත කුමාර ඊයේ අලුතෙන්ම ගත්තු 2025 ආපු අලුත්ම Benz එකට නැග්ගේ අදනම් මෙල්බර්න් හන්දියට ගිහින් පාන් ගෙඩියක්වත් රෑට කන්නන ගේන්න ඕනේ කියල හිතලා
මුළු ලෝකෙටම "ඔසී සුපිරි" කියලා පෙන්වන කුමාර, තමන්ගේම හොඳම යාළුවා අහද්දී "එන්න එපා" කියලා අත වනන්නේ ඇයි?
හැබැයි ඕස්ට්‍රේලියාවේ විතරක් නෙමෙයි, කැනඩා UK ඉන්න ලංකාවේ අය අතරත් මේ වගේම සිදුවීම්, මේ වගේම මානසිකත්වයන් ඕනෑතරම් දකින්න ලැබෙනවා. මේකට තමයි අපි සිංහල භාෂාවේ කුහකකම කියලා කියන්නේ.
ඉතින් ඔයත් මේ වගේ හොඳ ම රටකට ගිහින් ඉන්න ලාංකිකයෙක් නම් ලංකාවේ උදේ හවස කෝච්චියක එල්ලිලා ගිහින් දවසටම එක පාරක් කාල ඉන්න අහින්සක මනුස්සයෙක් එන්න ඇහුවම මේ වගේ වැල් බයිලා දාලා කුහකයෙක් වෙන්න එපා. උදව් කරන්න අකැමැති නම් මුකුත් නොකිය respect පිට ඉන්න.