16/02/2022
පින්බර නවම් පොහොය දිනයක් වේවා!
මෙම නවම් මහේ එළඹෙන නවම් පුර පසළොස්වක පොහෝ දිනය ශාසන ඉතිහාසයෙහිලා ඉතා වැදගත් සිදුවීම් ගණනාවකට මුල් වූ දිනයක් වශයෙන් හඳුන්වා දිය හැකිය. බුදු සසුනේ ප්‍රථම සංඝ සම්මේලනය පැවැත්වීම, සැරියුත් - මුගලන් දෙනමට අග්‍රශ්‍රාවක තනතුරු ප්‍රදානය කිරීම, ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම හා බුදුරදුන් ආයු සංස්කාරය අත්හැරිම යන චතුර්විධ කරුණු නවම් පොහෝ දිනෙක සිදු වී ඇත. එබැවින් නවම් පොහෝ දිනය ලෝකවාසි බෞද්ධ ජනතාවට සදාඅනුස්මරණීය දිනයක් වනු ඇත.
බුදුරජාණන් වහන්සේ පස්වග මහණුන්ගෙන් ආරම්භ කළ සඟ පරපුර වසරක පමණ කාලයක් ගතවීමෙන් පසුව දළුලා වැඩුණූ වෘක්ෂයක්සේ බබළන්නට විය. විවිධ දර්ශනවාද පිළිගනිමින් සත්‍ය ගවේෂණ ක්‍රියාවන්හි යෙදී සිට පසුව බුදුසමය කෙරෙහි පැහැදි යථාර්ථය අවබෝධ කරගැනීම් වස් පැවිදි වූ නා නා වාර්ගික භික්ෂූන් වහන්ස්ලොගෙන් සංඝ සමාජය ජනාකීර්ණ එකක් බවට පත් විය. මෙසේ ආරම්භ වූ භික්ෂු සමාජය පළමුවරට එක්රැස් කොට මහා සංඝ සම්මේලනයක් පැවැත්වූයේ නවම් මස පුර පසළොස්වක පොහෝ දිනෙක දීය.
උරුවෙල් කාශ්‍යප, නදී කාශ්‍යප. හා ගයා කාශ්‍යප යන තුන් බෑ ජටිල භික්ෂූන් වහන්සේ ප්‍රධාන 1000 ක් භික්ෂූ පිරිසද, සැරියුත් මුගලන් දෙනම ප්‍රමුඛ 250 කින් භික්ෂූ පිරිසද යන 1250 ක් වූ මහා සංඝ සන්නිපාතයකින් එදා රජගහනුවර වේළුවනාරාමය බබළන්නට විය. තාරකා පිරිවරාගත් පුන්සදමඬල මේ ඒ රහතන් වහන්සේ මැද බුදුරජණන් වහන්සේ වැඩසිටි සේක. එම මහා සඟ සමුළුවේදී සුවිශේෂි සිද්ධීන් කිහිපයක්ම සිදු වූ බව ශාසන ඉතිහාසයේ සඳහන්වේ.
උපුටා ගැනීම: ගලිගමුවේ ඥානදීප හිමි