ICT Wajira Madusanka

ICT Wajira Madusanka The sharper the match, the more beautiful the victory...

මොකද්ද මේ MERN Stack කියන්නේ=============================වෙබ් අඩවි සංවර්ධනය  සදහා පවත්වනු ලබන මාර්ගගත පාඨමාලාවල මේ දිනවල...
14/02/2025

මොකද්ද මේ MERN Stack කියන්නේ
=============================
වෙබ් අඩවි සංවර්ධනය සදහා පවත්වනු ලබන මාර්ගගත පාඨමාලාවල මේ දිනවල බහුලවම කතා කරනු ලබන මාතෘකාවක් බවට පත්වී තිබෙන්නේ MERN Stack පිළිබඳව වෙයි. ඇත්තටම මොකද්ද මේ MERN Stack කියන්නේ අපි ඒ පිළිබඳව කෙටියෙන් සාකච්ඡා කරමු. සාමාන්‍යයෙන් වෙබ් අඩවි ආකාර දෙකක් දක්නට ලැබෙයි.ඒ static web page සහ dynamic web page වෙයි. වෙබ් අඩවියක් නැරඹීමට පැමිණෙන සෑම පරිශීලකයකුටම එකම ආකරයේ අන්තර්ගතයක් දක්නට ලැබෙන වෙබ් අඩවි static web page එකක් ලෙස සරලව අර්ථ දැක්විය හැක. මෙම තොරතුරු වෙබ් සර්වර් එකක අන්තර්ගත කර ඇති ඒවා වෙයි. ඒ කියන්නෙ සෑම වෙබ් අඩවියක්ම වෙබ් සර්වර් එකක් තුල අන්තර්ගත කර ඇති බව අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. Dynamic වෙබ් අඩවියක් යනු පරිශීලකයාගේ අන්තර්ක්‍රියා කාරීත්වය අනුව, දත්ත පදනමක් හෙවත් ඩේටාබේස් එකක් හෝ වෙනත් හේතුවක් මත උත්පාදනය කරගනු ලබන අන්තර්ගතයක් සහිත වෙබ් අඩවියක් වෙයි. මේ සදහා අපිට ඉදිරිපත් කලහැකි හොදම උදාහරණය වනුයේ facebook වෙබ් අඩවිය වෙයි. facebook වෙබ් අඩවිය තුල පෙන්වනු ලබන්නේ ඒ ඒ පරිශීලයාට අදාල දත්ත පදනමක් හෙවත් ඩේටාබේස් එකකින් උත්පාදනය කරගනු ලබන දත්ත වෙයි. එම නිසා ෆෙස්බුක් වෙබ් අඩවියට පිවිසුනු පසු එහි ගිණුමක් ඇති කෙනෙකුට පෙන්වනු ලබන්නේ එකිනෙකට වෙනස් තොරතුරු වෙයි. මෙන්න මේ ආකාරයේ වෙබ් අඩවි ඒ කියන්නේ dynamic වෙබ් අඩවි නිර්මාණය කිරීම සදහා MERN stack එක භාවිතා කරනු ලබයි.

MERN stack එක කියන්නේ programming language සහ තාක්ෂණයන්ගේ එකතුවක් වෙයි. එම තාක්ෂණයන් සහ programming language හැදින්වීමට භාවිතා කරනු ලබන නම් වල මුල් අකුර භාවිතා කරමින් MERN ලෙස හදුන්වනු ලබයි. M යනු MongDB වන අතර E යනු Express යන ෆ්‍රේම්වර්ක් එක වන අතර R යනු React ෆ්‍රන්ට් එන්ඩ් ෆ්‍රේම්වර්ක් එක වෙයි. N යනු Node js වෙයි. Java Script මත පදනම් වූ තාක්ෂණයක් ලෙස MERN හැදින්විය හැක.

ඔබ නිර්මාණය කරනු ලබන ඇප්ලිකේෂන් එකෙහි පරිශීලකයාගේ තොරතුරු පරීශීලකයා විසින් ලබාදෙන අන්තර්ගතයන් උඩුගත කරන ලද දේවල් හෙවත් upload කරනු ලබන ෆයිල්ස් හෝ අන්තර්ගතයන් කමෙන්ට්ස් වැනි දෑ තැන්පත් කර තබාගැනීම සදහා ඩේටාබේස් එකක් අවශ්‍ය වන අතර එම ඩේටාබේස් එක ගොඩනගාගැනීම සදහා මෙහිදී අප MongoDB DBMS එක භාවිතා කරනු ලබයි. Express හෙවත් Express js යනු server side ෆ්‍රෙම්වර්ක් එකක් වෙයි. ඒ කියන්නෙ අපි අහල තියෙන LARAVEL ෆ්‍රේම්වර්ක් එක වගෙයි. PHP සදහා තියෙන ෆ්‍රේම්වර්ක් එකක් තමයි LARAVEL ෆ්‍රේම්වර්ක් එක කියන්නේ. Node js සර්වර් එක තුල ධාවනය වනු ලබන ෆ්‍රේම්වර්ක් එකක් ලෙස මෙම Express js ෆ්‍රේම්වර්ක් එක හැදින්විය හැක. React යනු වර්තමානයේ වෙබ් ඇප්ලිකේෂන් වල යූසර් ඉන්ටර්ෆේස් එක සකස් කිරීම සදහා බහුලව භාවිතා කරනු ලබන frontend ෆ්‍රේම්වර්ක් එකක් වෙයි. සාමාන්‍යයෙන් වෙබ් අඩවියක භාවිතා කරන්නාට පෙනෙන interface එක සකස් කරනු ලබන්නේ HTML භාෂාව මූලික කරගනිමින් වෙයි. නමුත් react වලදී ඒ දේ සිද්ධ කරනු ලබන්නේ react වලටම ආවේණිකවූ ක්‍රමවේදයකින් වෙයි. HTML වලින් වෙබ් අඩවියක් නිර්මාණය කලපසු එය .html ෆයිල් එකක් ආකාරයෙන් සකස් වන නමුත් React වලදී නිර්මාණය වන ෆයිල් එක js හෙවත් Java Script වලින් නිර්මාණය වීම සිදුවෙයි. එනම් ජාවා ස්ක්‍රිප්ට් භාෂාව භාවිතා කර කේතනය කරමින් වෙබ් අඩවියේ පෙනෙන කොටස හෙවත් frontend එක නිර්මාණය කරනු ලබයි. MERN වල N අකුරෙන් නියෝජනය කරනු ලබන්නේ Node js යන්න වෙයි. Node js යනු cross platform විවෘත කේත හෙවත් open source javascript සර්වර් එකක් හෙවත් environment එකක් වෙයි. V8 ජාවා ස්ක්‍රිප්ට් එන්ජින් එක මගින් වෙබ් බ්‍රව්සර් එකෙන් පිටතදී ක්‍රමලේඛණය කලහැකි වීම node js සතු විශේෂම ලක්ෂණය වෙයි. එම නිසා වෙබ් ඇප්ලිකේෂන් එකක client side scripting වලට පමණක් භාවිතා කරන ලද ජාවා ස්ක්‍රිප්ට් පරිගණක භාෂාව node js මගින් server side scripting ඒ කියන්නේ PHP වගේ භාවිතා කිරීමට හැකිවී තිබෙනවා.

මේ අනුව MERN Stack එක භාවිතා කර frontend සහ backend යන දෙකම javascript මූලික කරගනිමින් කේතනය කිරීමේ පහසුකම සලසා ඇත.

08/02/2025

ඩේටාබේස් එකක Primary Key පිළිබඳව මුලසිට හරියටම ඉගෙනගනිමු .

08/02/2025

ඇඩෝබි ෆොටෝෂොප් වල ඇති ලේයර් මාස්ක් භාවිතා කරමින් ඡායාරූප සංස්කරණය කරමු .

02/02/2025

ඔබ දැන සිටියාද මයික්‍රොසොෆ්ට් වර්ඩ් මගින් ඉතාමත් ආකර්ශනීය ලොගෝ නිර්මාණය කලහැකිබව. එහෙනම් අපි දැන් බලමු වර්ඩ් මගින් ඉතාමත් ආකර්ශනීය ලොගෝ එකක් නිර්මාණය කරනු ලබන්නේ කෙසේද කියා.

ප්‍රායෝගික පුහුණුව සමගින් නිදහස් පරිසරයක සිට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ඉගෙනගැනීමට කලවාන ප්‍රදේශයේ  දැන් ඔබට අවස්ථාව. ...
30/01/2025

ප්‍රායෝගික පුහුණුව සමගින් නිදහස් පරිසරයක සිට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ඉගෙනගැනීමට කලවාන ප්‍රදේශයේ දැන් ඔබට අවස්ථාව.
ආරම්භක සම්මන්ත්‍රණය
පෙබරවාරි මස 02 දින පස්වරු 3.00 ට
Easy Way Academy - රත්නපුර පාර, හගරංගල , කලවාන

ඔයාගෙ facebook  ගිණුම වෙනත් කෙනෙකු භාවිතා කරන බවට සැකද?======================අද වන විට බොහෝ දෙනෙකු දන්න කියන අයගේ වගේම න...
26/01/2025

ඔයාගෙ facebook ගිණුම වෙනත් කෙනෙකු භාවිතා කරන බවට සැකද?
======================
අද වන විට බොහෝ දෙනෙකු දන්න කියන අයගේ වගේම නොදන්න කියන අයගේ ද ෆේස්බුක් එකවුන්ට් එක අනවසරයෙන් භාවිතා කිරීම සදහා උත්සාහ කරනු ලබනවා. අපේ වචනයෙන් කිවහොත් හැක් කිරීම සදහා උත්සාහ කරනු ලබනවා. පිෂින් කියන ක්‍රමවේදය භාවිතා කරමින් බොහෝ විට වෙනත් ගිණුමක ඇති යූසර් නේම් එක සහ පාස්වර්ඩ් එක ලබාගැනීම බෝහෝ දෙනෙකු සිදුකරනු ලබනවා. මෙහිදී ඒ ආකාරයෙන් වෙනත් කෙනෙකුට ඔබේ ගිණුම ඔබට නොදැනී භාවිතා කිරීමේ හැකියාව ලැබෙනවා. ඔබ ෆේස්බුක් වල two factor authentication සක්‍රිය කර නොමැතිනම් හැක් කල කෙනාට කිසිදු කරදරයක් නොමැතිව ඔබේ ගිණුම ඔබට හොරෙන් භාවිතා කිරීමේ හැකියාව ලැබෙනවා.

ඔබේ ගිණුම ඔබට හොරෙන් කවුරු හෝ භාවිතා කරනවා කියා සැක හිතුනොත් ඔබට ලෙහෙසියෙන්ම බලාගැනීමේ හැකියාවක් ෆේස්බුක් තුල අන්තර්ගත වී තිබෙනවා. මේ සදහා ඔබ මොබයිල් ඇප් එක හරහා ෆේස්බුක් භාවිතා කරනවානම් එහි දකුණුපස ඉහල කෙලවරේ දක්නට ලැබෙන තිත් තුනකින් නියෝජනය වන බට්න් එක ක්ලික් කරන්න. මෙවිට දක්නට ලැබෙන මෙනු එකෙන් Setting & Privacy යන ආකාරය තෝරාගන්න. එවිට පහලින් දක්නට ලැබෙන Settings කමාන්ඩ් එක තෝරාගන්න. ඊට පසු දක්නට ලැබෙන මෙනු එකෙන් Password & Security යන ආකරය තෝරාගන්න. මෙවිට ඔබට Where you',re logged in යටතේ ඔබේ ගිණුම මොන මොන device භාවිතාකල ඇත්ද සහ දැනට භාවිතා කරමින් පවතිනවාද යන්න පෙන්වනු ලබනවා. මෙහි See All යන ලින්ක් එක ක්ලික් කිරීමෙන් මීට කලින් භාවිතා කල ඇති devices වල සම්පූර්ණ විස්තරයක් ඔබට බලාගැනීමට හැකි වනවා.

මෙහිදී ඔබට සැක සහිත device එකක් තිබුනහොත් නැවත ඔහුට ඔබේ ගිණුම භාවිතා කිරීමට නොහැකි වන ලෙසට ඔබේ ගිණුම එම device එකෙන් log out කර දැමීමේ හැකියාව පවතිනවා. ඒ සදහා See All මත ක්ලික් කර LOG OUT OF ALL SESSIONS බට්න් එක ක්ලික් කරන්න.

SSD සහ HDD අතර ඔය කියන තරම්ම වෙනසක් තියෙනවද?==============================පරිගණකයේ දත්ත ස්ථීර ලෙස තැන්පත් කර තබාගැනීම සද...
08/01/2025

SSD සහ HDD අතර ඔය කියන තරම්ම වෙනසක් තියෙනවද?
==============================
පරිගණකයේ දත්ත ස්ථීර ලෙස තැන්පත් කර තබාගැනීම සදහා hard disk drive භාවිතා කරන බව ඔබ හොදින්ම දන්නවා. වර්තමානයේ hard disk drive ප්‍රධාන වශයෙන් ආකාර දෙකක් දක්නට ලැබෙනවා. ඒ මුල් යුගයේ පැමිණි දත්ත ගබඩාකර තබාගැනීම සදහා platters භාවිතා කරන hard disk හෙවත් HDD සහ ඊට පසුව පැමිණි Solid state drive හෙවත් SSD හාඩ් ඩිස්ක් ආකරය වෙයි. වර්තමානයේ එන බොහොමයක් ලැප්ටොප් හා ඩෙස්ක්ටොප් පරිගණකවල සාම්ප්‍රදායික හාඩ් ඩිස්ක් වෙනුවට දක්නට ලැබෙන්නේ SSD හෙවත් Solid state drive වෙයි. සාම්ප්‍රදායික Hard disk වලට වඩා SSD වල ඔය කියන තරම් performance වල වෙනසක් තියෙනවාද? තවමත් සාම්ප්‍රදායික හාඩ් ඩිස්ක් භාවිතා කරනු ලබන්නේ එම වෙනසක් ලොකුවට නැති නිසාද. අද අපි සාකච්ඡා කරන්න යන්නේ මේ ආකර දෙක අතර පවතින වෙනස්කම් පිලිබදය.
මිලෙහි වෙනස
HDD සහ SSD වල මිලෙහි පැහැදිලි වෙනසක් දක්නට ලැබෙනවා. එකම ධාරිතාවයකින් යුත් සාම්ප්‍රදායික හාඩ් ඩිස්ක් එකක් සහ SSD එකක් අතර මිලෙහි පැහැදිලි වෙනසක් දක්නට ලැබෙනවා. එනම් ඔබට සාපේක්ෂව ඉහල පිරිවැයක් SSD එකක් මිලට ගැනීමේදී දැරීමට සිදුවනවා. මේ නිසා තමයි තවමත් බොහෝ දෙනෙකු සාම්ප්‍රදායික හාඩ් ඩිස්ක් භාවිතා කරනු ලබන්නේ.
ඉහල ධාරිතාවයකින් ලබාගත හැකිවීම
වර්තමානයේ සම්ප්‍රදායික හාඩ් ඩිස්ක් වල ධාරිතාවයන්ට සමාන ධාරිතාවයකින් යුත් SSD හාඩ් ඩිස්ක් ඩ්‍රයිව් දක්නට ලැබුනද ඒ සදහා පරිගණකයක් මිලදීගනු ලබන පුද්ගලයාට අධික පිරිවැයක් දැරීමට සිදුවෙයි. මේ නිසා සාමාන්‍ය පරිගණක වල hard disk ධාරිතාවය වන 1 TB හාඩ් ඩිස්ක් එකක් සහිත පරිගණකයක් මිලදීගැනීමකදී අනිවාර්යයෙන්ම එහි හාඩ් ඩිස්ක් එක වශයෙන් දක්නට ලැබෙන්නේ සාම්ප්‍රදායික හාඩ් ඩිස්ක් එකක් වෙයි. එම නිසා ඉහල ධාරිතාවයකින් යුත් SSD ලබාගැනීමේ හැකියාවක් පරිශීලකයට නොහැකි වෙයි. එසේ මිලදීගනු ලබන පරිගණකයක SSD hard disk drive එකක් දක්නට ලැබුනද එහි ධාරිතාවය වනුයේ 128 GB හෝ 256 GB වන අතර අමතර දත්ත තැන්පත් කරගැනීම සදහා වැඩි ධාරිතාවයකින් යුත් සාම්ප්‍රදායික හාඩ් ඩිස්ක් එකක් දක්නට ලැබෙයි.
වේගය
සාම්ප්‍රදායික හාඩ් ඩිස්ක් වලට සාපේක්ෂව දත්ත ප්‍රවේශකර ගැනීමේදී SSD වේගවත් වෙයි. සාම්ප්‍රදායික හාඩ් ඩිස්ක් වලට සාපේක්ෂව මෙහෙයුම් පද්ධතිය තත්පර කිහිපයක් ඇතුලත boot වීම සිදුවෙයි. ඒ වගේම ෆයිල් විවෘත කරගැනීමේදී ඉතාමත් ඉක්මනින් SSD වල විවෘතවීම සිදුවෙයි. ෆයිල් කොපි කිරීමේදී ඉහල වේගයකින් අඩු කාලයක් තුල එය සිදුකරගැනීමට SSD වල පුලුවන.
විශ්වාසනීයත්වය සහ දිගුකල් පැවැත්ම
සාම්ප්‍රදායික හාඩ් ඩිස්ක් එකක් බොහෝ විට යන්ත්‍රයකට සමාන වෙයි. පරිගණකයක් ක්‍රියාත්මක කල මොහොතේ සිට එහි දත්ත තැන්පත් වී ඇති platters නිරන්තරයෙන්ම කරකැවීම සිදුවෙයි. දත්ත කියවීම සදහා ඇති read write head එක් පසක සිට අනෙක් පසට ගමන් කිරීම සිදුකරයි. මේ නිසා එම ඇතුලත උපාංග ඕනෑම මොහොතක අකර්මණ්‍ය වීමේ සම්භාවිතාවයක් පවතී. ඒ වගෙම යම් හෙයකින් ඔබේ අතින් ලැප්ටොප් එක බිම වැටුනහොත් එහි ඇති හාඩ් ඩිස්ක් එක හානි වීමට වැඩි ඉඩකඩක් පවතී. නමුත් SSD වල දත්ත තැන්පත් කිරීමට chip දක්නට ලැබෙන නිසා ඉහත සදහන් කරන ලද කිසිදු ගැටලුවකට මුහුණ පෑමට සිදුනොවෙයි.
ඔන්න ඔය කියන කරුණු සැලකිල්ලට ගැනීමේදී සාම්ප්‍රදායික හාඩ් ඩිස්ක් වලට වඩා SSD භාවිතා කිරීමේදී ඉහල performance එකක් ලබාගැනීමට හැකිවනවා.

මොකද්ද මේ Aspect ratio එක කියන්නේ...=======================පරිගණකයේ සහ රූපවාහිනී වල තිර ගැන කතා කිරීමේදී අපිට නිතරම අසන්...
06/01/2025

මොකද්ද මේ Aspect ratio එක කියන්නේ...
=======================
පරිගණකයේ සහ රූපවාහිනී වල තිර ගැන කතා කිරීමේදී අපිට නිතරම අසන්නට ලැබෙන වචනයක් තමයි Aspect ratio එක කියන්නේ. සමහර විට ඔබ මෙය අහල නොතිබුනත් 4:3, 16:9 ලෙස වත් බොහෝ විට අහල ඇති. මේ තියෙන්නේ Aspect ratio අනුපාතයක්. අද අපි පොඩ්ඩක් මේ Aspect ratio එක ගැන කතා කරමු. පරිගණක තිර රූපවාහිනී තිර නිෂ්පාදනය කිරීමේදී එහි උස සහ පළල අතර පවතින අනුපාතය Aspect ratio වශයෙන් හදුන්වනු ලබයි. මීට අමතරව camera sensor වලින් එන ප්‍රතිඵලය සහ ඩිජිටල් ඉමේජ් වලත් මේ aspect ratio එක දක්නට ලැබෙනවා.
මෙය වඩාත්ම ප්‍රචලිතව පවතින්නේ පරිගණක තිර නිෂ්පාදනයේ දී වෙයි. වර්තමානයේ සෑම පරිගණක තිරයක්ම නිෂ්පාදනය කරනු ලබන්නේ 16:9 අනුපාතයට වෙයි. පැරණි පරිගණක තිර එනම් අපි CRT මොනිටර් භාවිතා කරන අවධියේදී සම්මත පරිගණක තිර අනුපාතය වූයේ 4:3 ආකරය වෙයි. 16:9 අනුපාතය සෑලකූ විටදී මෙහි 16 යනු පළල වන අතර 9 යනු උස වෙයි. මෙවැනි තිරයක් නිෂ්පාදනය කරන විටදී තිරයේ පළල අගල් 16 ක් වන විටදී උස වන්නේ අගල් 9 ක් වෙයි. නැතහොත් පළල අගල් 32 ක් වන විට උස වන්නේ අගල් 18 ක් වෙයි.
මෙම aspect ratio එක සමහර අවස්ථා වලදී තනි අගයක් ආකරයටද හදුන්වනු ලබයි. එනම් මෙම තනි අගය 1.33 ක් ලෙසට හදුන්වනු ලබයි. මෙවිට aspect ratio එක වනුයේ 4:3 වෙයි. මෙහිදී 4 යන අගය 3 න් බෙදූ විට ලැබෙන අගය 1.33 වශයෙන් හදුන්වනු ලබයි. සමහර විට මෙම අගය 1.78 ලෙසටද අගයක් ලෙසට ප්‍රකාශ කරනු ලබයි. මෙවිට aspect ratio එක වනුයේ 16:9 වෙයි. එනම් මෙහිදී එම අගය ප්‍රකාශ කරනු ලබන්නේ 16 යන අගය 9 න් බෙදීමෙන් ලැබෙන අගය වෙයි. මෙය 1.33:1 ලෙසටද 1.78:1 හදුන්වනු ලබයි. එනම් උස එකක් වන විට පලල 1.33 ක් හෝ 1.78 යන අදහසින් වෙයි. වර්තමානයේ නිෂ්පාදනය කරනු ලබන සෑම මොනිටර් එකක්ම නිෂ්පාදනය කරනු ලබන්නේ 16:9 අනුපාතයට වන අතර අගල් 19, අගල් 24 ලෙසට අර්ථදක්වනු ලබන්නේ මෙම නිර්මාණය වන පරිගණක තිර්යේ එක් මුල්ලක සිට ඊට ප්‍රතිවිරුද්ධ ඉදිරියෙන් ඇති මුල්ල දක්වා දිවෙන විකර්ණයේ දිග වෙයි.
මේ ආකාරයට දක්නට ලැබෙන aspect ratio කිහිපයක් පිලිබද දල අදහසක් අපි දැන් ලබාගනිමු.
1:1 මෙම අනුපාතය සමචතුරස්‍රාකාර හැඩයක් ගනුලබන අතර සමාජ මාධ්‍ය ජාලා සදහා නිර්මාණය කරනු ලබන ඉමේජ් වල බොහො විට දක්නට ලැබෙන්නේ මෙම අනුපාතය වෙයි.
3:2 මෙම අනුපාතය බෝහෝ විට කැමරා වල sensor තුල දක්නට ලැබෙයි. ඊට අමතරව ජංගම දුරකතන වල ෆෝටෝස් සහ වීඩියෝ shoot කරන විටදී මෙම අනුපාතය දක්නට ලැබෙයි.
4:3 HD තාක්ෂණය පැමිණීමට පෙර රූපවාහිනි විකාශනයන් තුල භාවිතා කරන ලද්දේ මෙම අනුපාතය වෙයි. එකල භාවිතා කරනලද රූපවාහිනී කැමරාවල දක්නට ලැබුනේද මෙම අනුපාතයයි.
16:9 වර්තමානයේ භාවිතා කරනු ලබන රූපවාහිනී පරිගණක තිර සහ HD තාක්ෂණයෙන් වීඩියෝ කල හැකි කැමරා තුල දක්නට ලැබෙන්නේ මෙම අනුපාතය වෙයි.
2.35:1 මෙය Cinema scope වශයෙන් හදුන්වන අතර films නිෂ්පාදනය කිරීමේදී මෙම අනුපාතය භාවිතා කරනු ලබයි.

Windows පුරාණය...===========================ඩෙස්ක්ටොප් පරිගණක වල වැඩිපුරම භාවිතා කරනු ලබන මෙහෙයුම් පද්ධතිය වනුයේ Microso...
05/01/2025

Windows පුරාණය...
===========================
ඩෙස්ක්ටොප් පරිගණක වල වැඩිපුරම භාවිතා කරනු ලබන මෙහෙයුම් පද්ධතිය වනුයේ Microsoft Windows බව හැමෝම දන්නා කාරණයක්. බොහෝ කාලයක පටන් තබා තිබෙන මෙම රෙකෝඩ් එක අද වන විටත් කිසිදු මෙහෙයුම් පද්ධතියකට බිදහෙලීමට නොහැකි වී ඇත. එනම් අද වන විට රෙදි සෝදන්න සන්ලයිට් ඉල්ලනවා සේ බොහෝ දෙනෙකු තම පරිගණකය සදහා පිහිටුවීමට ඉල්ලා සිටින්නේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය. ඒ තරමටම මෙම මෙහෙයුම් පද්ධතිය මිනිසුන්ගේ ලේ ඇට නහර මස් වලට කා වැදී අවසානය. අද ඔබ භාවිතා කරනු ලබන මෙම වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සදහා අවුරුදු 36 ක පමණ දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා. හොදයි ඒ ඉතිහාසය අවුස්සාබලන්න තමයි අපි අද මේ හදන්නේ.
මෙහෙයුම් පද්ධතිය හදුන්වාදුන් මුල් කාලයේ සෑම මෙහෙයුම් පද්ධතියක්ම දක්නට ලැබුනේ command line interface එකක් සහිතව වෙයි. එනම් අදාල කාර්‍ය සිදුකරගැනීම සදහා කලුපාට තිරයක් මත සුදුපාට අකුරුවලින් යුත් කමාන්ඩ් එකක් ටයිප් කිරීමට සිදුවුනා. නමුත් මේ සියල්ල වෙනස් කරමින් 1985 වර්ෂයේදී Windows 1.0 නමින් පලමු GUI මෙහෙයුම් පද්ධතිය Microsoft සමාගම විසින් නිකුත් කරන ලදී. මෙහි විශේෂත්වය වූයේ අදාල විධාන ක්‍රියාත්මක කිරීම සදහා කලින් මෙහෙයුම් පද්ධතිය වල මෙන් කමාන්ඩ් ටයිප් කිරීමට සිදුනොවීමයි. එනම් මෙහිදී විධාක ක්‍රියාත්මක කිරිම සදහා මවුස් එකද භාවිතා කරනලද අතර අයිකන් මෙනු වැනි රූපක ව්‍යුහ ද දක්නට ලැබිණි.
මින් අවුරුදු දෙකකට පමණ පසුව Windows 1.0 මෙහෙයුම් පද්ධතිය වැඩිදියුණු කරමින් Windows 2.0 නමින් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ අලුත් සංස්කරණයක් නිකුත් කරන ලදී. කලින් හදුන්වාදෙනු ලැබූ සංස්කරණය ට වඩා මෙහි තිබූ ප්‍රධානතම දියුණුකිරීම් වුයේ වැඩසටහන් වල window එකිනෙක මත පිහිටන පරිදි එහා මෙහා කලහැකි වූ අතර අදාල window හැකිලවීම හෙවත් minimize කිරීමටත් දිගහැරීම හෙවත් maximize කිරිමට හැකි වීමත්ය.
මෙහෙයුම් පද්ධතිය පිහිටුවීම සදහා ප්‍රථම වතාවට hard disk drive එකක් අවැසි වෙමින් නිර්මාණය කරනලද Windows 3.0 සංස්කරණය නිකුත් කිරීමට 1990 වර්ෂයේදී Microsoft සමාගමට හැකිවිය. වඩාත් පැතිරුණු සහ වැඩි ජනප්‍රියත්වයක් ලබාගැනීමට මෙම සංස්කරණයට හැකියාව ලැබිණි. ප්‍රථම වතාවට Ms DOS නමින් කලින් තිබූ මෙහෙයුම් පද්ධතිය මෙම සංස්කරණය තුල වෙනම ඇප්ලිකේෂන් එකක් ආකරයට ධාවනය කිරීමට හැකිවිය. වර්ණ 256 ක් සදහා සහය දැක්වීම නිසා වර්තමානයේ දකින මෙහෙයුම් පද්ධතියක මෙන් වර්ණ සංයෝජනයක් ද දක්නට ලැබිණි. ඉන්පසු 1992 වර්ෂයේදී Windwos 3.1 නමින් සංස්කරණයක් හදුන්වාදෙන ලදි. මෙම මෙහෙයුම් පද්ධතිය ධාවනය කිරීම සදහා 1MB මතක ධාරිතාවයක් අවශ්‍ය වන ලදී. CD තැටියකින් Windows මෙහෙයුම් පද්ධතිය install කිරීම පලමුව දක්නට ලැබුනේ මෙම මෙහෙයුම් පද්ධතිය තුලදී වෙයි.
1995 වර්ෂයේදී Start button එකකින් සහ Start මෙනු එකකින් බලගැන්වුන මෙහෙයුම් පද්ධතියක් හදුන්වාදෙන ලදී. එය නිකුත්කල වර්ෂය අරුත්ගැන්වෙන පරිදි Windows 95 ලෙස නම් තබා තිබිණි. Taskbar එක දක්නට ලැබුන බැවින් වැඩසටහන් කිහිපයක් සමග එකවර ඉතා පහසුවෙන් වැඩකිරීමේ හැකියාව ලැබී තිබිණි. තවත් වඩාත්ම ජනප්‍රිය සංස්කරණයක් වූ Windows 98 සංස්කරණය 1998 වර්ෂයේදී හදුන්වාදෙන ලදී. 2000 වර්ෂයෙදී හදුන්වාදුන් Windows me හෙවත් Windows millennium සංස්කරණය පරිශීලකයන් අතර එතරම් ජනප්‍රිය තාවයක් දක්නට නොලැබිණි. Windwos Movie Maker, Media Player 7 වැනි ඇප්ලිකේෂන් හදුන්වාදෙනු ලැබුවේ මෙම සංස්කරණය හරහා වෙයි.
ඉන්පසු එම වර්ෂයේදීම මාස කිහිපයකට පසු Windwos 2000 සංස්කරණය හදුන්වාදෙන ලදී. ඉන් අනතුරුව මයික්‍රොසොෆ්ට් සමාගම විසින් හදුන්වාදෙන ලද ලොව බොහෝ දෙනෙක් වැඩිම කාලයක් භාවිතා කරන ලද Windows XP මෙහෙයුම් පද්ධතිය 2001 ඔක්තෝබර් මස එලිදක්වන ලදී. CD write කිරීම මෙහෙයුම් පද්ධතිය තුලම සිදුකල හැකිවූ අතර ඒ සදහා අමතර වැඩසටහනක් අවශ්‍ය නොවන ලදී. මෙය කෙතරම් ජනප්‍රිය වී දයත් Microsoft සමාගම විසින් මෙම මෙහෙයුම් පද්ධතියට ලබාදෙන ලද සේවාවන් නතරකල පසුද බොහෝ කාලයක් පරීශීලකයන් විසින් මෙය භාවිතා කරන ලදී.
ඉන් පසුව 2007 වර්ෂයේදී Windows Vista නමින් මෙහෙයුම් පද්ධතියක් හදුන්වාදෙන ලදී. පරිශීලකයන් අතර අනෙක් මෙහෙයුම් පද්ධති මෙන් මෙය එතරම් ජනප්‍රිය වීමක් සිදු නොවීය. Internet explorer 7, Windows Media Player 11 වැනි සංස්කරණ දක්නට ලැබුනේ මෙම මෙහෙයුම් පද්ධතිය තුල වෙයි. ප්‍රථම වතාවට වෙනත් ඇප්ලිකේෂන් එකක සහයක් නොමැතිව DVD රයිට් කිරීමේ පහසුකම දක්නට ලැබුනේ Windows Vista මෙහෙයුම් පද්ධතිය සමග වෙයි.
2009 වර්ෂයේදී Windows 7 නමින් තවත් සංස්කරණයක් හදුන්වාදෙන ලදී. Vista වල පැවති ගැටලු සම්පුර්ණයෙන්ම විසදමින් මෙම සංස්කරණය හදුන්වාදෙන ලදී. මෙය වඩාත් ස්ථාවර භාවිතා කරන්නාට මිත්‍රශීලී පහසු මෙහෙයුම් පද්ධතියක් විය. ඉන්පසු 2012 වර්ෂයේදී Windows 8 නමින් තවත් මෙහෙයුම් පද්ධතියක් හදුන්වාදෙන ලදී. මෙහි දක්නට ලැබුන ප්‍රධානතම ලක්ෂණය වුයේ Start button එක සහ Start menu එක ඉවත්කර ඒ වෙනුවට Start Screen එක ඇතුලත් කර තිබීමය. මෙය වින්ඩෝස් භාවිතාකරන්නන් හට වෙනස්ම ආකාරයේ අත්දැකීමක් ලබාදීමට සමත්විය. කලින් හදුන්වාදුන් සංස්කරණ වලට වඩා වේගවත් වූ අතර USB 3.0 උපාංග සදහා ද ඉතා හොදින් සහය දක්වන ලදී.
2013 වර්ෂයේදී Windows 8.1 නමින් තවත් මෙහෙයුම් පද්ධතියක් හදුන්වාදෙන ලදී. ඉවත්කර තිබූ Start button එක නැවතත් මෙහිදී දක්නට ලැබිණි. එය ක්ලික් කිරීමෙන් Start Menu එක වෙනුවට Start Screen එක ලබාගැනීමට හැකිවිය. ඉන් අනතුරුව පුරුදු පරිදි Start button එක ක්ලික් කලවිට Start Menu එක දක්නට ලැබෙන සම්ප්‍රදාය අනුගමනය කරන ලද මෙහෙයුම් පද්ධතියක් ලෙස Windows 10 මෙහෙයුම් පද්ධතිය 2015 වර්ෂයේදී හදුන්වාදෙන ලදී. එම සංස්කරණය මේ දක්වාම එම නමින් දක්නට ලැබුණ අතර එහි ප්‍රධාන සංස්කරණ කිහිපයක්ම මේ කාලය ඇතුලත නිකුත් කරන ලදී. මේ වන විට Windows 11 නමින් සංස්කරණයක් හදුන්වාදීමට Microsoft සමාගම විසින් කටයුතු කරගෙන යනු ලබයි.

කැල්කියුලේටරය අස්සෙ ෆොටෝ හංගමුද?===========================අපි අද ඔයාලට හදුන්වාදෙන්න යන්නෙ අමුතු විදිහකට හිතල හදපු ඇන්ඩ්...
04/01/2025

කැල්කියුලේටරය අස්සෙ ෆොටෝ හංගමුද?
===========================
අපි අද ඔයාලට හදුන්වාදෙන්න යන්නෙ අමුතු විදිහකට හිතල හදපු ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් ගැන. ඔයාලගෙ ෆෝන් එකේ ගැලරි එකේ හරි එහෙම නැත්නම් ෆෝල්ඩර් එකක තිබෙන ෆොටෝස් වීඩියෝස් හෝ වෙනත් ඕනෑම ආකරයේ ෆයිල් එකක් කැල්කියුලේටරයක් හරහා හංගන්න පුලුවන් සුපිරිම concept එකකට හැදුනු ඇප් එකක් තමයි මේක. මේ ඇප් එක බැලූ බැල්මටම පේන්නෙ කැල්කියුලේටරයක් විදිහට. කැල්කියුලේටරයක තියෙන interface එක ඒ විදිහටම මේකෙ පේන්න තියෙනවා. එකතු කිරීම් අඩු කිරීම් ඒ විදිහටම ගණනය කිරීම් කරගන්න පුලුවන් හැබැයි ඔයා ලබාදුන් පාස්වර්ඩ් එක ටයිප් කරල සමාන ලකුණ සහිත බට්න් එක එබුවොත් තමයි හංගපු ෆයිල්ස් දකින්නට ලැබෙන්නෙ. ඒ නිසා ඔයා අනවශ්‍ය විදිහට ෆයිල්ස් හංගල තියෙන්නෙ කියලා වෙන කවුරුහරි ඔයාගෙ ෆෝන් එක බැලුවොත් කිසිම සැකයක් හිතෙන්නෙත් නෑ.
අපි දැන් බලමු කොහොමද මේ ඇප් එක හරහා ෆයිල්ස් හංගන්නෙ කියලා. මේ ඇප් එක ඉන්ස්ටෝල් කරල ඉදිරියට කරගෙන යන හැම පියවරකටම අදාල screenshots සේරම අපි පිලිවෙලට පල්ලෙහායින් දාල තියෙනවා. ඒ ටික බලල වුනත් ඔයාට පහසුවෙන් මේ ඇප් එකෙන් වැඩ ගන්න පුලුවන්. මුලින්ම කරන්න තියෙන්නෙ ඔයාගෙ android phone එකේ google play එකට ගිහින් calculator hide app කියල සෙවීමක් සිදුකරන්න. එතකොට ඔයාලට මේ හා සමාන ඇප් කීපයක්ම දක්නට ලැබෙනවා. මෙයින් Applus Studios කියන company නමින් තියෙන ඇප් එක තෝරලා ඔයාගෙ ෆෝන් එකට install කරගන්න. මේක එච්චර ලොකු ධාරිතාවයකින් යුතු ඇප් එකක් නෙමෙයි. ඩවුන්ලෝඩ් කරගන්නෙ යන්නෙ 9 mb වගේ සුලු data ප්‍රමාණයක්. Install වෙලා අවසන් වුනාට පස්සෙ මේ ඇප් එක විවෘත කරගන්න. හැම ඇප් එකකම වගේ මේකෙත් google add ධාවනය වෙනවා. ඒව අවසන් වන තෙක් බලා ඉන්න ඔයාට ඉවසීමත් පොඩ්ඩක් ප්‍රගුණ කරගන්න වෙනවා. එසේ add එක අවසන් වුනාට පස්සෙ භාවිතා කරන භාෂාව තෝරගන්න වෙනවා. මෙයින් English කියන ආකරය තෝරල Done බට්න් එක ක්ලික් කරන්න.
ඉන්පස්සෙ ඔයාලට ඉලක්කම් හතරක පාස්වර්ඩ් එකක් ඇතුලත් කරගන්න වෙනවා. මේක තමයි ඔයාල හංගන ෆයිල්ස් ඔයාට ඕනි වුනොත් බලන්න තියෙන හෝ නැවත හංගපුව එලියට ගන්න පාස්වර්ඩ් එක. ඒ සදහා මෙහි පහල දකුණු පැත්තෙ තියෙන Next බට්න් එක ක්ලික් කරන්න. මෙවිට යම් හෙයකින් පාස්වර්ඩ් එක අමතක වුවහොත් ෆයිල්ස් බලාගන්න ඕන code එක මොකද්ද කියල පෙන්නනවා. නැවතත් next බට්න් එක ක්ලික් කරල Get Started බට්න් එක ක්ලික් කලාම adds එන්න පුලුවන්. ඒවයින් ඉවත්වුනාම පාස්වර්ඩ් එක ටයිප් කරලා සමාන ලකුණ සහිත බට්න් එක ක්ලික් කරන්න. ඊට පස්සෙ නැවතත් එම පාස්වර්ඩ් එකම ටයිප් කරල සමාන ලකුණ සහිත බට්න් එක ක්ලික් කරන්න.
ඊට පස්සෙ security question එකක් තෝරල ඒකට පිලිතුරක් ටයිප් කරල Next බට්න් එක ක්ලික් කරන්න. දැන් ඔයාලට හංගන්න ඕන ෆොටෝද වීඩියෝ ද නැත්නම් වෙනත් ෆයිල් එකක් ද කියල්ස් තෝරන්න අවස්ථාවක් එනවා. ඒකෙන් කැමති ආකරයක් තෝරාගන්න. ඉන්පස්සෙ android os එකේ ෆයිල් access කරන්න මේ ඇප් එකට ඉඩ ලබාදෙන්න. ඒ සදහා මේ ඇප් එක ඉදිරියේ ඇදි toggle button එක උඩ ක්ලික් කරන්න. ඊට පස්සෙ ෆයිල්ස් add කිරීම සදහා ඇප් එක මැද ලොකු plus බට්න් එකක් දක්නට ලැබෙනවා. මේක ක්ලික් කලාම ඔයාට සම්පූර්ණ ෆෝල්ඩර් එකක්ම හෝ තෝරාගත් ෆයිල්ස් කිහිපයක් වුවත් හංගන්න පුලුවන්. මෙයින් කැමති ඔප්ෂන් එකක් තෝරාගන්න. ඉන්පස්සෙ අවශ්‍ය ෆයිල් හෝ ෆෝල්ඩරය තෝරාගෙන hide බට්න් එක ක්ලික් කරන්න. එවිට මේ ෆයිල්ස් ඔයාගෙ phone එකේ නියම location එකෙන් කාටත් නොපෙනෙන ආකරයට හංගනවා. නැවතත් ඔයාලට මේක ලබාගන්න පෙර පරිදිම password එක ගහලා සමාන ලකුණ සහිත බට්න් එක ඔබන්න. ඕන ඊට පස්සෙ ඔයාලට හංගපු ෆයිල්ස් හරි ෆෝල්ඩර් එක හරි බලාගන්න පුලුවන්.
හංගපු දේවල් නැවතත් සාමාන්‍ය ආකරයට පේන විදිහට සකස් කරගන්න ඕනෙ නම් ෆයිල් එක හෝ ෆෝල්ඩර් එක තෝරලා දකුණු පැත්තෙ උඩම තියෙන ඇහැක සලකුණකින් නියෝජනය වන බට්න් එක ක්ලික් කරන්න. මේ ඇප් එක ඔයාට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා මං හිතනවා.

පරිගණකයක් එකලස් කිරීමේදී නිවැරදිව ප්‍රොසෙසරයක් තෝරාගන්නේ කොහොමද?=======================================සෑම පරිගණකයකටම mo...
02/01/2025

පරිගණකයක් එකලස් කිරීමේදී නිවැරදිව ප්‍රොසෙසරයක් තෝරාගන්නේ කොහොමද?
=======================================
සෑම පරිගණකයකටම motherboard එකක් අවශ්‍යයි. ඒවගේම සෑම motherboard එකකටම ප්‍රොසෙසර් එකක් එහෙම නැත්නම් අපි කවුරුත් දන්න විදිහට කිව්වොත් CPU එකක් අවශ්‍යයයි. මේක ගහට පොත්ත වගේ එකට බැදිල තියෙන කාරණයක්. ඉතින් පරිගණකයක් එකලස් කිරීමේදී ප්‍රොසෙසර් එකක් තෝරාගන්නා විට ඔහේ කවුරුත් ගත්ත පලියට ඒ ජාතියේම ප්‍රොසෙසර් එකක් නැත්නම් computer shop එකේ එක්කෙනා කිව්ව පලියට අරගෙන හරියන්නෙ නෑ. පරිගණකය හරහා තමන් කරන්න යන කාරණය අනුව පරිගණකයට install කරන්න බලාපොරොත්තුවෙන software අනුව හොද ප්‍රොසෙසර් එකක් මිලදී ගන්න ඕන. අපි අද බලමු ප්‍රොසෙසර් එකක් මිලදී ගැනීමේදී ඔබ විසින් සැලකිය යුතු කරුණු මොනවාද කියලා. ඊට කලින් අපි බලමු වෙළදපලේ අපිට ගන්න තියෙන ප්‍රොසෙසර් මොනවාද කියලා.
Desktop Processors
Desktop Processors නැත්නම් Desktop CPUs නිර්මාණය කරල තියෙන්නෙ desktop පරිගණක සදහා ඒ කියන්නෙ System Unit, Monitor, Keyboard, Mouse වෙන වෙනම දකින්න ලැබෙන පරිගණක සදහා. මෙම CPU, ලැප්ටොප් සහ servers පරිගණක වල දක්නට ලැබෙන processors මෙන් එකම කාර්‍යක් සිදුකරන අතර නමුත් desktop පරිගණක භාවිතා කරන්නන්ගේ අවශ්‍යතා හැසිරවීමට desktop CPU ටිකක් වෙනස් ලෙස ගොඩනගා ඇත. උදාහරණයක් ලෙස desktop Processor නිර්මාණය කිරීමේදී ලබාදෙන එක් ප්‍රධානතම වාසි වනුයේ ඉහල තාපයකට ඔරොත්තු දෙන ආකරයටත් overclock කිරීමට හැකිවීමත් වෙයි. දැන් බලයි මොකද්ද මේ overclock කරනවා කියන්නෙ කියලා.Processor එකෙහි සදහන් සම්මත Processor speed එකට වඩා වැඩියෙන් වැඩකිරීමට සැලැස්වීමයි. සෑම processor එකක්ම නිෂ්පාදනය කිරීමේදී එහි නිශ්චිත speed එකක් එහෙම නැත්නම් clock rate එකකට වැඩකරන විදිහට තමයි නිෂ්පාදනය කරල එවන්නෙ. නමුත් BIOS configuration හරහා ඔබට එම සම්මත speed එකට වඩා වැඩි වේගයකින් වැඩකරන ආකරයට සකස් කරන්න පුලුවන්. ඒ කියන්නෙ processor එක තත්පරයකට සිදුකරන කාර්‍යයන් ප්‍රමාණය වැඩිකරගන්න පුලුවන්. මේක තමයි සරලව overclock කරනවා කියන්නේ.
Mobile Processors
Mobile Processors මූලික වශයෙන් නිෂපාදනය කරල තියෙන්නෙ මොබයිල් උපාංග එනම් laptop, smarphone සහ tablet වැනි පහසුවෙන් එහා මෙහස් ගෙනයාහැකි උපාංග සදහා. Desktop processors වලට සාපේක්ෂව mobile processors අඩු බලයක් සහ ක්‍රියාත්මක වීමේදී අඩු වේගයක් තමයි දක්නට ලැබෙන්නෙ. ඒකට හේතුව ප්‍රධාන වශයෙන් mobile devices වල ඇති බැටරියෙහි ආරෝපණ කාලය එනම් battery power එක ඉතිරි කරගැනීම සදහා.
Server Processors
Servers Processors විශේෂයෙන්ම නිර්මාණය කරල තියෙන්නෙ ඉහල විශ්වාසනීයත්වයක් සදහා ඒ කියන්නෙ මේ ප්‍රොසෙසර් නිෂ්පාදනය කරල තියෙන්නෙ ජනිතවන ඉහළ තාපයකට සහ වැඩසටහන් විශාල ප්‍රමාණයකින් හෝ එකවර එන උපදෙස් විශාල ප්‍රමාණයක් ඉතාම ඉක්මණින් සිදුකල හැකි ආකාරයට මොකද යම්හෙයකින් මේ කාර්‍යන් නිසිආකාරයෙන් සිදුකල නොහැකිව processor එක fail වුවහොත් මුලු පරිගණකයම අකර්මණ්‍ය වන නිසා. උදාහරණයක් ලෙසට ප්‍රොසෙසර් දෙකකින් එකවර වැඩකල හැකි dual processor servers නිර්මාණය කරල තියෙන්නෙ එකවර දත්ත විශාල ප්‍රමාණයක් process කරන්න පුලුවන් ආකරයට.
ඉතින් මේ ප්‍රොසෙසර් 3 තමයි අපිට වෙළදපලේ මූලික වශයෙන් ගන්න තියෙන ප්‍රොසෙසර් වර්ග තුන. අපි දැන් බලමු processor එකක් මිලදීගැනීමේදී සලකාබැලිය යුතු ප්‍රධාන කාරණා මොනවාද කියලා.
Cores ගණන
අපි කවුරුත් දන්න intel වෙළද නාමය යටතේ පැමිණි Pentium 4, Pentium D දක්වාම processor වල දක්නට ලැබුනේ physical එක processor එකක් පමණයි. නමුත් intel නාමය යටතේ ඊට පසුව පැමිණි සෑම processor එකක් තුලම එකම ප්‍රොසෙසර් එක තුල logical processors ආකරයට processor package එකක් ලෙස තමයි නිර්මාණය කරල තියෙන්නෙ. හරියට එක් ලිපක් තියෙන ගෑස් කුකර් එකක් භාවිතා කර කර ඉන්න ගමන් ලිප් දෙකක් තියෙන ගෑස් කුකර් එකක් භාවිතා කරන්න ගත්ත වගේ. එනම් වැඩසටහන් කිහිපයක් වුවත් එකවර වැඩකරන විටදී ඒ ඒ වැඩසටහන් වල දත්ත අනෙක් logical processors වලට බලපෑමක් නොවන පරිදි වැඩකල හැකි ආකරයට තමයි මේ multi core processors නිර්මාණය කරන්න පටන් ගත්තෙ. මේ logical processors කිහිපයක් තියෙන් ප්‍රොසෙසර් core 2 හි සිට 8 ක් දක්වා සමහරක් විට gaming PC වල එනම් high end processors වල ඊට වඩා වැඩි වන අයුරින් නිර්මාණය කිරීමට වගබලාගෙන තියෙනවා. මේ cores එකකට වඩා වැඩි ගණනක් තිබීමෙන් කාර්‍යන් බෙදා වැඩකල හැකි නිසා පරිගණකය වේගවත්වීම සහ කාර්‍යක්ෂම වීම වැඩිවෙලා තියෙනවා.
Cache Memory
මේක අපි කෑෂ් මෙමරි එක කියලත් හදුන්වනවා. මෙය බොහෝ දුරට පරිගණකය ප්‍රධාන මතකයට සමාන කරන්න පුලුවන්. මේක ප්‍රධාන වශයෙන් අපිට physically දකින්න පුලුවන් එකක් නෙමෙයි. ප්‍රොසෙසර් එකටම ඇතුලත් කරල නිර්මාණය කරල තියෙන මතකයක්. නමුත් මෙහි ධරිතාවය කුඩා වුනත් පරිගණකයේ ප්‍රධාන මතකයට වඩා වේගයෙන් ක්‍රියාකල හැකි මතක වර්ගයක්. පරිගණකයේ දැනට ධාවනය වෙමින් පවතින වැඩසටහන් වල ප්‍රොසෙස් කිරීමට ලබාගන්නා දත්ත වේගයෙන් මතකතබාගැනීමට හැකියාවක් cache මෙමරි එකට තියෙනවා. ඉස්සර processors වල මේ මතකය kilobytes වලින් තිබුනත් වර්තමානයේ processors වල මෙය megabytes වලින් තමයි දක්නට ලැබෙන්නෙ. මෙම මතකය විශාල වන තරමට ප්‍රොසෙස් කරන ලද දත්ත සහ නිතර නිතර ප්‍රොසෙස් කිරීමට ලබාගන්නා දත්ත විශාල ප්‍රමාණයක් මතකයේ තබාගැනීමට හැකිවනවා.
Socket එකෙහි ගැලපීම
ප්‍රොසෙසර් එකක් මිලදී ගැනීමේදී motherboard එකට processor එක සමබන්ධවන processor interface එක හෙවත් socket එකද ගලපාගැනීම මූලික දෙයක් විදිහටත් සලකාබලනු ලබනවා. ඔබ මිලදීගන්නා motherboard එක දැනටමත් තීරණය කරගෙන තිබෙනවානම් ඔබ මිලදීගන්නා processor එක motherboard එකේ දක්නට ලැබෙන socket එකට අනුකූලතාවයකින් යුතු වෙනවාද කියන එක ඉතා වැදගත්. මොකද විශේෂයෙන්ම intel සමාගම විසින් නිෂ්පාදනය කරනු ලබන high end processors වල socket සාමාන්‍ය motherboard වල socket වලට වඩා බෙහෙවින් වෙනස් වන ආකරයට තමයි නිෂ්පාදනය කරල තියෙන්නෙ. ඔබ processor එක මූලික කරගනිමින් පරිගණකයක් එකලස් කරනවානම් පවතින processor එක අලුතින් මිලදීගන්නා motherboard එකෙහි socket එකට ගැලපෙනවාද යන්න සොයාබැලීමත් ඉතා වැදගත්.
ඒකාබද්ධ කර ඇති ගැෆික් සැකසුම් ඒකක (intergrated graphic GPUs)
වර්තමානයේ නිෂ්පාදනය කරනු ලබන බොහොමයක් processors වල graphic calculations එනම් ග්‍රැෆික් ප්‍රොසෙසින් සිදුකිරීම සදහා දියුණු කරනලද logical processors වෙනම දක්නට තියෙනවා. වෙනම logical graphic core එකක් තිබෙනවානම් ඔබට වෙනම graphic card එකක් සම්බන්ධ කිරීමකින් තොරව යම්තාක් දුරකට Photoshop, Corel DRAW වගේ applications වල ගැෆික් කාර්‍යන් බාධාවකින් තොරව සිදුකරගැනීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම තරමක් ඉහල ගැෆික් processing එකක් සිදුකරන games පවා බාධාවකින් තොරව ධාවනය කරගැනීමේ හැකියාවත් තියෙනවා.
CPU එකෙහි සංඛ්‍යාතය (Frequency)
පරිගණකයේ processor එකෙහි සංඛ්‍යාතය මනිනු ලබන්නේ Hz වලින් වෙයි. එනම් පරිගණකයේ ප්‍රොසෙසර් එකට තත්පරයකදී විසදිය හැකි operations cycle ප්‍රමාණය මනිනු ලබන්නේ Hz වලින් වෙයි. අතීතයේදී මෙම frequency එක වැඩි වන තරමට ඉහල performance එකක් ලබාගැනීමට හැකිවුනා. නමුත් වර්තමානයේදී frequency එක ඉහලගිය තරමට ඉහල performance එකක් ලබාගන්න පුලුවන් වේවියයි කියා තර්ක කරන්න බෑ. සමහරක් ප්‍රොසෙසර් ක්‍රියාත්මක වීමේදි අවශ්‍ය වන මූලික පහසුකම් අඩු ප්‍රමාණයක් සපුරාගන්නා විටදී ඉහළ සංඛ්‍යාතයකින් යුතු processor එකක් ක්‍රියාත්මක වනවාට වඩා වේගයෙන් ක්‍රියාත්මක වනවායැයි කියා අපිට තර්කයක් ගොඩනගන්න පුලුවන්. ඒ නිසා ප්‍රොසෙසර් එකක් මිලදීගැනීමේදී එහි සැබෑ වේගයට frequency එක බලපාන එකම සාධකයක් නොවන බවට මතක තබාගන්න.
Thermal Design Power
ප්‍රොසෙසර් එකක් ක්‍රියාත්මක වීමේදී අධික තාපයක් නිකුත් කරනු ලබනවා. ඒ නිසා තමයි processor එකට ඉහලින් cooling system එකක් integrated කරල එවන්නෙ. මෙමගින් ප්‍රොසෙසර් එක ක්‍රියාත්මක වීමේදී processor එක කොපමණ තාප ප්‍රමාණයක් ලබාදෙනවාද යන්න පැහැදිලි කරනු ලබනවා. මෙය පරිගණකයේ performance එකට මූලික වශයෙන් වැදගත්වන බව මතක තබාගන්න. CPU එක සදහා cooling system එකක් භාවිතා නොකරන්නේ නම් හෝ ලබාදී ඇති සිසිලන උපාංග භාවිතා නොකරන්නේ නම් system unit එක සදහා සිසිලන උපාංග පද්ධතියක් භාවිතා කිරීම අනිවාර්ය වෙයි. මොකද පරිගණකයක් උණුසුම්වීම එහි performance එක සදහා ප්‍රධාන ලෙස බලපාන බැවිනි. අපි gaming pc වලට සාමාන්‍ය සිසිලන පද්ධතිය වෙනුවට liquid cooling පද්ධතියක් ස්ථාපනය කරන්නෙත් අන්න ඒ කාරණය නිසයි.
ඔබ ගෙදර සාමාන්‍ය කර්‍යක් සදහා පරිගණකයක් එකලස් කිරීමේදී procrssor එකක් තෝරාගැනීමේදී ප්‍රධාන වශයෙන් සලකාබැලිය යුත්තේ socket, intergrated GPU සහ Frequency යන කාරණා වෙයි. Processor socket එක සලකාබැලිය යුත්තේ සාමාන්‍ය කාර්‍යකට පරිගණකයක් එකලස් කරනවිටදී අපි තෝරාගනු ලබන්නේ high end motherboard එනම් gaming PC වලට භාවිතා කරන motherboard නොවන නිසාවෙනි. Intergrated GPU එකක් තිබෙනවාද සලකාබැලිය යුත්තේ අපි Gaming PC වලට මෙන අමතර graphic card එකක් සම්බන්ධ නොකරන නිසාවෙනි. මොකද අද ගොඩ දෙනෙක් කරන කාර්‍යන් බොහොමයක් සදහා graphic කර්‍ය්න්ද සිදුකරගන්නා නිසාවෙනි. අඩුම තරමෙ Photoshop , Corel DRAW වලද කර්‍යක් සිදුකරගැනීමට අවශ්‍ය වෙන නිසාවෙනි.
ගෙදර හෝ ව්‍යාපාරික වැඩ යන කාර්‍යන් දෙකම සිදුකරගන්නා කෙනෙක් නම් Cores ගණන, Cache Memory, Frequency යන කාරණා පිළිබඳව වැඩි අවධානයක් යොමුකල යුතු වෙනවා. මොකද ව්‍යාපාරික ස්ථානයක් ගෙදර හෝ වෙනම පවත්වාගෙන ගියත් ගෙදර වැඩ ව්‍යාපාරික වැඩ එකම පරිගණකයේ සිදුකලත් එකවර වැඩි වැඩ ප්‍රමාණයක් සිදුකරන නිසා cores ගණන ගැන සැලකිලිමත් වීම අනිවාර්ය වෙනවා. බොහෝ විට Photoshop වගේ මෘදුකාංග අපිට ව්‍යපාරියට අවශ්‍ය leaflet නිර්මාණය කිරීමට අවශ්‍ය වෙනවා. ඒ නිසා ඒ application බලාපොරොත්තුවෙන frequency එක සපුරාලන processor එක තෝරාගැනීමත් වැදගත් වෙනවා.
ආයතනයක පරිශීලකයන් වෙනුවෙන්ම ප්‍රොසෙසර් එකක් තෝරාගන්නා විටදී cores, frequency, thermal design power යන කාරණා පිළිබඳව සැලකිලමත්වීම ඉතා වැදගත් වෙනවා. ආයතනයක පරිශීලකයන් ව්‍යාපාරයේ අවශ්‍යතාවය වෙනුවෙන් සියලුම ආකරයේ applications වගෙම එකවර applications ගොඩක වැඩකරන නිසා අනිවාර්යයෙන්ම cores ගණන පිළිබඳව සැලකිල්ලක් දැක්වීම අනිවාර්ය වෙනවා. සමහරවිට එම ආයතනය වෙනුවෙන්ම නිර්මාණය කරනලද පරිගණක පද්ධතියක් භාවිතා කරන අවස්ථාවකදී ඒ සදහා අවශ්‍යවන අනෙකුත් applications උදාහරණයක් ලෙස DBMS එකක් වගේ අන්න ඒ අවස්ථාවලදී processor එකෙහි frequency එකද සලකාබැලිය යුතු වෙනවා. ව්‍යාපාරික ස්ථානයක භාවිතාකරනු ලබන පරිගණකයක් දවස පුරාම වැඩකරන නිසා ඒ වගේම photoshop හෝ ආයතනය වෙනුවෙන්ම නිර්මාණය කරනලද පරිගණක පද්ධතියක් භාවිතා කරන නිසා එම අවස්ථාවලදී processor එක විසින් නිදහස්කරනු ලබන තාපය හෙවත් thermal design power (TDP) එක ගැන සැලකීමත් ඉතා වැදගත් වෙනවා. TDP එක ඉහලම වෙන processor එකක්ම තෝරාගැනීමට අවශ්‍ය වන අවස්ථාවලදී අනිවාර්යයෙන්ම system unit එකෙහි cooling system එක ගැනත් සැලකීමට සිදුවෙනවා.
පරිගණක games play කිරීම සදහාම පරිගණකයක් තෝරාගන්නවානම් cores, frequency, TDP එක ගැන ප්‍රධාන වශයෙන්ම සලකාබැලිය යුතු වෙනවා. ඉහළ ග්‍රැෆික් අවශ්‍යතාවයන් සහිත games play කරනවිටදී පරිගණකයේ ඒ application එක එනම් එම game එක පමණක් play වුවද sound processing, basic graphic handlings සහ අනෙකුත් processing සිදුකරන නිසා cores ගණන සැලකිලිමත් වීම ඉතා වැදගත් වෙනවා. Games සදහා highend Processors තෝරාගන්නා විටදී ඒවායේ cores ගණන සාමාන්‍ය processors වලට වඩා අනිවාර්යයෙන්ම වැඩි ගණනක් දක්නට ලැබෙනවා. අනික් කාරණය තමයි processor එකෙහි frequency එක ගැනත් දැඩිවශයෙන් සැලකිය යුතුවෙනවා. සමහරක් games සදහා 3.8 Ghz ඊට ඉහල frequency එකක් තිබෙන processors අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. අනික් කාරණය තමයි game එකක එක mission එකක් හෝ mission කිහිපයක්ම ඉවර වෙනකන් play කරන සාමාන්‍ය සිරිතක්. අන්න ඒ නිසා TDP එක ගැන සැලකීමත් ඉතා වැදගත්. ඒක නිසා තමයි තෝරාගන්න Highend processor එකෙහි TDP එක වැඩිනම් බොහොමයක් games play කරන අය liquid cooling system එකක් අනුමත කරන්නෙ.
Server පරිගණකයක් සදහා processor එකක් තෝරාගන්නා විටදී අනිවාර්යයෙන්ම cores, TDP එක සහ Processor එකෙහි Threading ගණන පිළිබඳව සැලකිලිමත් වියයුතු වෙනවා. එකවර විශාල applications ප්‍රමාණයක data විශාල ප්‍රමාණයක් ඉතාමත් සුළු වේලාවකින් processor කරලා client පරිගණක වෙත ලබාදියයුතු බැවින් cores ගණන පිළිබඳව සැලකිලිමත් විය යුතු වෙනවා. එසේම TPD එක සැලකියුතු ප්‍රධාන සාධකයක් වෙනවා. බොහොමයක් servers පරිගණක වල cooling system එකක් දක්නට ලැබෙන්නේ නෑ. ඒවා අපි විසින් වෙනම install කරගැනීමට සිදුවෙනවා. ඇප්ලිකේෂන් එකකට වඩා වැඩියෙන් instructions එකම core එකක process කිරීමේ හැකියාවත් ඉතා වැදගත් වෙනවා. මේක තමයි අපි කියන්නේ threading එක කියලා. ඒ වගේම hyperthreading වගේ processor technology එකක් processor එකක් තිබීම වැදගත් වෙනවා.
ඉතින් ඔන්න ඔය කියන කාරණා processor එකක් තෝරාගැනීමේදී ඉතාමත් සැලකිලිමත් වියයුතු වෙනවා. තමන් තනියෙන් පරිගණකයක් එකලස් කරනවිටදී තමන් කරන්න යන වැඩේ අනුව දැරියහැකි වියදම අනුව ඉහල සදහන් කරනලද කාරණා පිළිබඳව සැලකිලිමත් වීම ඉතා වැදගත් වෙනවා.

Address

No 20, Weddagala East, Weddagala
Kalawana
70450

Website

Alerts

Be the first to know and let us send you an email when ICT Wajira Madusanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share