08/10/2026
මහත්වරුනී
MIG වෙල්ඩින් කිරීමේදී ARC LENGTH එක වැඩි සහ අඩු වුණොත් මොකද වෙන්නේ කියලා අද අපි කතා කරමු,
වෝල්ටීයතාවය, වයර් වේගය සහ විදුලි චාපයේ දිග අතර තියෙන තාක්ෂණික සම්බන්ධය මේ තුලින් ඔබට මදක් හෝ අවබෝධ කරදීමට උත්සාහ කරමී,
MIG වෙල්ඩින් මැෂිමක් භාවිතා කරන බොහෝ දෙනෙක් වෝල්ටීයතාවය සහ වයර් වේගය වෙනස් කරමින් පෑස්සුම් කරනවා.
නමුත් මේ දෙක වෙනස් කරනකොට විදුලි චාපයට ඇත්තටම මොකද වෙන්නේ කියලා සහ විශේෂයෙන් විදුලි චාපයේ දිග Arc Length කියන්නේ MIG වෙල්ඩින්වලදී ඉතාම වැදගත් සාධකයක්.
අද අපි මේ ගැන තාක්ෂණිකව පැහැදිලි කරගමු.
01. මොකද්ද මේ ARC LENGTH කියන්නේ?
MIG වෙල්ඩින් කිරීමේදී වයර් ඉලෙක්ට්රෝඩයේ කෙළවර සහ වැඩ කොටසේ දියවුණු ලෝහය අතර ඇති විදුලි චාපයේ දිග තමයි Arc Length කියන්නේ.
මෙම පරතරය හරහා විදුලි චාපය පවත්වාගෙන යනවා. Arc Length එක නිවැරදිව පවත්වා ගැනීමෙන් ස්ථාවර විදුලි චාපයක් සහ ගුණාත්මක පෑස්සුම් සම්බන්ධයක් ලබාගන්න පුළුවන්.
02. MIG මැෂිමේ වෝල්ටීයතාවය සහ ARC LENGTH අතර සම්බන්ධය
සාමාන්ය MIG/MAG වෙල්ඩින් මැෂින් බොහොමයක් ක්රියාත්මක වෙන්නේ නියත වෝල්ටීයතා ක්රමයට ඒ කියන්නෙ Constant Voltage ක්රමයට
මෙහිදී අපි මැෂිමේ වෝල්ටීයතාවය සකස් කරනවා.
ඒ වගේම වයර් ගමන් කරන වේගයත් සකස් කරනවා.
සාමාන්යයෙන් අනෙක් තත්ත්වයන් සමානව පවත්වාගෙන යන විට,
වෝල්ටීයතාවය වැඩි කළොත් .... විදුලි චාපයේ දිග වැඩි වෙනවා.
වෝල්ටීයතාවය අඩු කළොත්.... විදුලි චාපයේ දිග අඩු වෙනවා.
නමුත් මෙය වයර් වේගය, වයර් ප්රමාණය, ආරක්ෂිත වායුව සහ ලෝහ බිංදු මාරුවන ක්රමය අනුවත් වෙනස් වෙනවා.
ඒ නිසා වෝල්ටීයතාවය පමණක් සකස් කරලා හොඳ පෑස්සුමක් ලබාගන්න බැහැ.
03. ARC LENGTH එක වැඩි වුණොත් මොකද වෙන්නේ?
විදුලි චාපයේ දිග අවශ්ය ප්රමාණයට වඩා වැඩි වුණොත් පෑස්සුම් ක්රියාවලියේ වෙනස්කම් කිහිපයක් ඇති වෙනවා.
..පෑස්සුමේ පළල වැඩි විය හැකියි...
විදුලි චාපය දිගු වීමත් සමඟ එහි තාපය පැතිරෙන ආකාරය වෙනස් වෙනවා. ඒ නිසා පෑස්සුම පළල් සහ පැතලි විය හැකියි.
..ලෝහ බිංදු මාරුවීම අස්ථාවර විය හැකියි...
වයර් කෙළවරේ දියවෙන ලෝහය වැඩ කොටසට මාරුවීමේ ක්රියාවලියට විදුලි චාපයේ දිග බලපානවා. වෝල්ටීයතාවය අධික වීමෙන් ඇතැම් තත්ත්වයන් යටතේ විදුලි චාපය අස්ථාවර වී උණු ලෝහ බිංදු විසිරීම වැඩි විය හැකියි.
..පෑස්සුම් දාර කැපී යාම Undercut ඇති විය හැකියි...
විදුලි චාපය අධික ලෙස දිගු වීම සහ වැරදි පෑස්සුම් වේගය වැනි හේතු නිසා පෑස්සුම් සම්බන්ධයේ දෙපස දාරවල කුඩා කානු වැනි දෝෂ ඇති විය හැකියි. මෙය පෑස්සුම් සම්බන්ධයේ ශක්තියට අහිතකර විය හැකියි.
..පෑස්සුම් සම්බන්ධය තුළ වායු සිදුරු ඇති වීමේ අවදානම වැඩි විය හැකියි...
විදුලි චාපය අධික ලෙස දිගු වීමෙන් ආරක්ෂිත වායුවේ ආවරණය ප්රමාණවත් නොවන තත්ත්වයක් ඇති වුවහොත් අවට වාතය පෑස්සෙන ස්ථානයට ඇතුළු විය හැකියි. එමඟින් වායු සිදුරු ඇති වීමේ අවදානම වැඩි වෙනවා. හැබැයි විදුලි චාපයේ දිග වැඩි වූ සෑම අවස්ථාවකම වායු සිදුරු ඇති වෙනවා කියලා අදහස් කරන්නේ නැහැ.
04. ARC LENGTH එක අඩු වුණොත් මොකද වෙන්නේ?
විදුලි චාපය අවශ්ය ප්රමාණයට වඩා කෙටි වීමත් ගැටලුවක්.
විශේෂයෙන් වයර් වේගයට සාපේක්ෂව වෝල්ටීයතාවය අඩු වුණොත්,
.වයර් එක දියවුණු ලෝහයට අධික ලෙස තල්ලු විය හැකියි.
.විදුලි චාපය අස්ථාවර විය හැකියි.
.ලෝහ බිංදු විසිරීම වැඩි විය හැකියි.
.පෑස්සුම් පටිය පටු සහ උස් හැඩයක් ගත හැකියි.
.පෑස්සුම් සම්බන්ධයේ දෙපස ලෝහ නිසි ලෙස එකතු නොවීමේ අවදානම ඇති විය හැකියි.
මෙහිදී මතක තබාගත යුතු වැදගත් දෙයක් තියෙනවා.
Short Circuit MIG ක්රමයේදී වයර් එක දියවුණු ලෝහයට වරින් වර ස්පර්ශ වීම සාමාන්ය ක්රියාවලියක්. ගැටලුව වෙන්නේ එම ස්පර්ශ වීම පාලනයකින් තොරව අධික වීමයි මහත්වරුනී
05. එහෙනම් MIG මැෂිමේ ඇම්පියර් පාලනය වෙන්නේ කොහොමද?
මෙතන තමයි ගොඩක් දෙනෙක් වරද්දාගන්නේ.
සාමාන්ය නියත වෝල්ටීයතා MIG මැෂිමකදී වෙල්ඩින් ධාරාව ප්රධාන වශයෙන් සම්බන්ධ වෙන්නේ වයර් ගමන් කරන වේගයටයි.
වයර් වේගය වැඩි කළොත්
වයර් එක වැඩ කොටස දෙසට වැඩි වේගයකින් ගමන් කරනවා.
එම වේගයට ගැළපෙන ලෙස වයර් එක දියවීමට වැඩි ධාරාවක් අවශ්ය වෙනවා.
ඒ නිසා සාමාන්ය ස්ථාවර පෑස්සුම් තත්ත්වයකදී,
වයර් වේගය වැඩි වෙනවා... වෙල්ඩින් ධාරාව වැඩි වෙනවා.
වයර් වේගය අඩු කළොත්
වයර් එක දියවීමට අවශ්ය ධාරාවත් සාමාන්යයෙන් අඩු වෙනවා.
වයර් වේගය අඩු වෙනවා.... වෙල්ඩින් ධාරාව අඩු වෙනවා.
මෙම සම්බන්ධය වයර් විෂ්කම්භය, වයර් වර්ගය, වයර් කෙළවරේ නිදහස් දිග සහ අනෙකුත් පෑස්සුම් තත්ත්වයන් අනුව වෙනස් විය හැකියි.
06. MIG මැෂිමේ විදුලි චාපය ස්වයංක්රීයව ස්ථාවර වෙන්නේ කොහොමද?
මේක ඉතාම වැදගත් තාක්ෂණික කරුණක්.
සාමාන්ය CV MIG මැෂිමකදී විදුලි චාපයේ දිග තාවකාලිකව වෙනස් වුණොත් මැෂිමේ ධාරාවත් වෙනස් වෙනවා.
උදාහරණයක් බලමු.
විදුලි චාපය කෙටි වුණොත්:
චාප වෝල්ටීයතාවය අඩු වෙනවා.
එවිට CV පද්ධතියේ ස්වභාවය අනුව වෙල්ඩින් ධාරාව වැඩි වෙනවා.
වැඩි ධාරාව නිසා වයර් එක වේගයෙන් දියවෙනවා.
එමඟින් විදුලි චාපයේ දිග නැවත වැඩි වීමට උපකාරී වෙනවා.
විදුලි චාපය දිගු වුණොත්:
චාප වෝල්ටීයතාවය වැඩි වෙනවා.
එවිට වෙල්ඩින් ධාරාව අඩු වීමට නැඹුරු වෙනවා.
ධාරාව අඩු වීම නිසා වයර් එක දියවෙන වේගය අඩු වෙනවා.
වයර් එක අඛණ්ඩව ඉදිරියට ගමන් කරන නිසා විදුලි චාපයේ දිග නැවත අඩු වීමට උපකාරී වෙනවා.
මේ ක්රියාවලිය තමයි සාමාන්ය CV MIG වෙල්ඩින් පද්ධතියක විදුලි චාපයේ දිග ස්වයංක්රීයව ස්ථාවර කරගැනීමේ මූලික ක්රමය.
මෙය ක්රියාත්මක වෙන්නේ මැෂිමේ ධාරා ප්රතිචාරය සහ වයර් දියවීම අතර ඇති ස්වභාවික සම්බන්ධය නිසා.
07. ටෝච් එක වැඩ කොටසෙන් ඈත් කළොත් ARC LENGTH එක අනිවාර්යයෙන් වැඩි වෙනවාද?
නැහැ. මෙතනත් වැදගත් වෙනසක් තියෙනවා.
Contact Tip to Work Distance CTWD කියන්නේ ටෝච් එකේ වයර් සම්බන්ධක තුඩේ සිට වැඩ කොටස දක්වා ඇති දුරයි.
මෙය විදුලි චාපයේ දිගට සමාන නැහැ.
සාමාන්ය CV MIG පද්ධතියකදී ටෝච් එක තරමක් ඈත් කළ විට වයර් කෙළවරේ නිදහස් දිග වැඩි විය හැකියි.
ඒ සමඟ වයර් එකේ විද්යුත් ප්රතිරෝධය නිසා ඇතිවන තාපය සහ වෙල්ඩින් ධාරාව වෙනස් වෙනවා.
ඒ නිසා ටෝච් එක ඈත් කළ පමණින් විදුලි චාපයේ දිගත් ඒ ප්රමාණයෙන්ම වැඩි වෙනවා කියලා කියන්න බැහැ.
ටෝච් දුර සහ විදුලි චාපයේ දිග කියන්නේ එකිනෙකට සම්බන්ධ වුණත් වෙනස් මිනුම් දෙකක් කියලා අපි ටිකක් ඔලුවට දා ගන්න උත්සාහ කරමු
08. ARC LENGTH වැඩි කළොත් Pe*******on එක වැඩි වෙනවාද?
මෙතනත් වැරදි අවබෝධයක් තියෙනවා.
සමහරු හිතනවා වෝල්ටීයතාවය වැඩි කළොත් ලෝහය වැඩිපුර ඇතුළට දියවෙනවා කියලා.
නමුත් ඒක හැම අවස්ථාවකම නිවැරදි නැහැ.
පෑස්සුම් සම්බන්ධයේ ලෝහය ඇතුළට දියවන ගැඹුර තීරණය වෙන්නේ සාධක කිහිපයක් මතයි.
ඒ අතර,
.වෙල්ඩින් ධාරාව.විදුලි චාපයේ වෝල්ටීයතාවය.පෑස්සුම් වේගය.වයර් විෂ්කම්භය.ආරක්ෂිත වායු මිශ්රණය.ලෝහ බිංදු මාරුවන ක්රමය.ටෝච් එකේ කෝණය.වැඩ කොටසේ ඝනකම සහ සම්බන්ධයේ හැඩය
වැනි කරුණු බලපානවා.
ඒ නිසා,
වෝල්ටීයතාවය වැඩි කිරීම = Pe*******on වැඩි කිරීම කියලම කියන්න බෑ නේද?
MIG වෙල්ඩින් මැෂිමක් භාවිතා කරන විට මතක තබාගන්න.
01.වෝල්ටීයතාවය ප්රධාන වශයෙන් විදුලි චාපයේ දිග සහ පෑස්සුම් පටියේ හැඩයට බලපානවා.
02.වයර් ගමන් කරන වේගය සාමාන්ය CV MIG පද්ධතියක වෙල්ඩින් ධාරාව තීරණය කරන ප්රධාන සාධකයක්.
03.විදුලි චාපයේ දිග වැඩි වීම හෝ අඩු වීම යන දෙකම පෑස්සුම් ගුණාත්මකභාවයට බලපානවා.
04.ටෝච් එකේ දුර සහ විදුලි චාපයේ දිග එකම දෙයක් නෙවෙයි.
05.නිවැරදි වෝල්ටීයතාවය සහ වයර් වේගය තෝරාගත යුත්තේ භාවිතා කරන වයර් වර්ගය, විෂ්කම්භය, ආරක්ෂිත වායුව, ලෝහයේ ඝනකම සහ පෑස්සුම් ක්රමය අනුවයි.
විශේෂයෙන් මතක තියාගන්න, මේ පැහැදිලි කිරීම සාමාන්ය නියත වෝල්ටීයතා MIG/MAG ක්රමයට අදාළයි. Pulse MIG වැනි නවීන පද්ධතිවල ධාරාව සහ විදුලි චාපය පාලනය කරන ක්රමය වෙනස් විය හැකියි. පසුව ඒ ගැනත් කතා කරමු
WELD DOC ELECTRONICS
ඉතින් අද ලිපියත් හොදයී නම් අපිව follow කරන්න , ලයික් එකක් දාන්න,ඔයාගෙ අදහසත් කමෙන්ට් කරන්න , යාලුවන්ට බලන්න shear කරන්න ,
ජය වේවා ඔබ සැමට❤