09/08/2026
වැස්ස හයියෙන් වැටුණා...
නෙළුම්ගේ හදවත ඊටත් වඩා හයියෙන් ගැහුණා.
ඒකට හේතුව වැස්ස නෙවෙයි...................රාවන් (රාක්ෂයාගේ ආලය ).............
හට හත් වැනි කොටස🌹
හවස් අහස හදිසියේම කළු වලාකුළුවලින් බර වෙලා තිබුණා.
මඳ වේලාවකට කලින් තිබුණු නිහඬ හිරු එළිය කොහේදෝ අතුරුදන් වෙලා... වලව්ව වටා තිබුණු ගස්වල අතු තද සුළඟට එකිනෙක ගැටෙමින් අමුතුම හඬක් නඟන්න පටන් ගත්තා.
ඊළඟ මොහොතේ...මහ වැස්සක් ඇද හැලුණා.
අහස දෙදරවමින් අකුණු සැරයක් පුපුරා ගියා.විදුලි රේඛාවක් කළු අහස පුරා සුදු පැහැති ඉරක් වගේ ඇඳී ගිය මොහොතේ, රාවන්ගේ කාමරයේ ජනේල් වීදුරු දෙදරලා ගියා.
දඩ... දඩ...හඩින් සුළඟට ජනේල් පියන් සෙමින් ගැහෙද්දී, වැස්සේ හිරිකඩ ජනේලය අතරින් කාමරයට ඇතුළු වෙලා රාවන්ගේ මුහුණ මතටත් වැටුණා.
කාමරයේ කෙළවරක තිබුණු මල් බඳුන...උදෑසන වන විටත් නැවුම්ව තිබුණු නෙළුම් මල් කිහිපය, මේ වන විට මිලාන වෙලා හිස පහත් කරගෙන තිබුණා.
වැහි සුළඟට ඒ මල් පෙති සෙමින් සෙලවුණේ, කිසිවක් නොකියා යම් අනතුරක් ගැන අනතුරු අඟවනවා වගේ.රාවන් නිහඬව ඒ දිහා බලාගෙන හිටියා.
ඔහුගේ හිතටත් ඒ මිලාන වූ නෙළුම් මල් වගේම අමුතු බරක් දැනුණා.
පප්පා අද නොකියම ආරාමයට ගියේ ඇයි...?ඒ ප්‍රශ්නය ඔහුගේ සිත ඇතුළේ නැවත නැවතත් දෝංකාර දුන්නා.ගිය උදෑසනේ තිබුණු සාමාන්‍යකම දැන් කොහෙත්ම තිබුණේ නැහැ.
මොකක්දෝ වෙනස් දෙයක් සිදුවෙමින් තිබුණා.තමන්ට නොපෙනෙන, තමන්ට නොඇසෙන..ඒත් තමන්ගේ ජීවිතය දෙසට හෙමින් හෙමින් ළඟා වෙමින් තිබෙන දෙයක්.
තවත් අකුණු සැරයක් අහස පුරා පුපුරා ගියා.ඒ ආලෝකයෙන් මොහොතකට රාවන්ගේ මුහුණ ජනේල වීදුරුව මත පැහැදිලිව දිස්වුණා.ඒ දෑස්වල තිබුණේ බියක් විතරක් නෙවෙයි...
තමන්ගේ ලෝකය වෙනස් වෙන්න යන බව දැනෙන මිනිසෙකුගේ නොසන්සුන්කමක්.පිටත වැස්ස තව තවත් තද වුණා.වලව්වේ පැරණි කොරිඩෝවලින් සුළඟ හූ කියමින් හමාගෙන ගියා.ඒ අතරේ...
දුරින් කොහේ හෝ ගිගුරුම් හඬක් නැඟුණා.
රාවන්ගේ දෑස් තවමත් මිලාන වූ නෙළුම් මල් මතම රැඳී තිබුණා.
උදෑසන ආරාමයට ගිය ඩැනීත් එක්ක...
රාවන්ගේ ජීවිතයට වැසි වලාකුළක් වගේ ඇතුළු වූ ඒ අතීතය,
දැන් හෙමින් හෙමින් ඔහුගේ දොර ළඟටම පැමිණෙමින් තිබුණා.
“පප්පා තාම නෑනේ... ශිට්...”
රාවන් නැවතත් දුරකථනය අතට ගත්තා. තිරය දෙස මොහොතක් බලාගෙන සිටි ඔහුගේ නළල මඳක් රැළි වුණා.
ඩැනී හදිසියේ ගමන් බිමන් යන එක අලුත් දෙයක් නෙවෙයි. රට පුරා විසිරී තිබුණු තම ව්‍යාපාර කටයුතු වෙනුවෙන්, සමහර වෙලාවට ඔහු කිසිවෙකුටත් නොකියාම වලව්වෙන් පිටව යනවා. සමහර ගමන් ගැන රාවන්ටවත් කලින් දැනගන්න ලැබෙන්නේ නැහැ. දවස් ගණනක් ගෙදර නොඑන අවස්ථා පවා තිබුණා.
ඒ හැමදේම සාමාන්‍ය දෙයක්.
ඒත්...
අද රාවන්ගේ හිතට ඒ කිසිවක් සාමාන්‍ය වගේ දැනුණේ නැහැ.
ඔහු පෞද්ගලික කාර්යාලයට ඇමතුමක් දීලා විමසද්දී දැනගත්තේ, ඩැනී උදෑසන රාජුත් එක්ක කිසිවෙකුටත් නොකියාම කාර්යාලයෙන් පිටව ගිය බවයි.
රාජුගේ දුරකථනයත් ක්‍රියා විරහිතයි.
ඒ මදිවට...උදෑසන නෙළුම්ගෙන් ඇමතුම ලැබුණු පසු, ඇගේ දුරකථනයෙන්ද කිසිදු පිළිතුරක් නැහැ.
එකින් එක සිදුවුණු මේ දේවල් රාවන්ගේ හිත ඇතුළේ තිබුණු නොසන්සුන්කම තවත් තද කළා.
ඔහු සෙමින් අසුනෙන් නැඟිට්ටා.
කකුලේ වේදනාව නිසා මොහොතකට මුහුණ ඇකිළුණත්, ඒ ගැන නොතකා අත්වාරු අල්ලාගෙන ඉදිරියට ගියා.
අවසානයේ බැල්කනියට පැමිණි ඔහු, වැරන්ඩාවේ වැටට අත තබාගෙන පිටත බලාගෙන නිහඬව නතර වුණා.
ඒ මොහොතේම තද සුළඟක් හමාගෙන ආවා.
බැල්කනියේ දිගු තිර රෙදි සුළඟට ඉහළට නැඟී සෙමින් සෙමින් සෙලවුණා. වැහි බිඳු අතරින් පැන ආ හිරිකඩ ඔහුගේ මුහුණත්, උරහිසුත් තෙමුවා.සීතල බිඳු රාවන්ගේ සම මත වැටෙද්දී, ඔහුගේ ගත පුරා හිරිගඩු පිපුණා.
ඒ අතරේ පාල උණු උණුවේ දුම් දමමින් තිබුණු කෝපි කෝප්පයක් සහිත බන්දේසිය රැගෙන බැල්කනියට ආවා.
“බේබි මහත්තයා...”
ඔහු කිසිවක් නොකියා සිටි නිසා පාල හෙමින් කුඩා තේක්ක මේසය මත කෝපි කෝප්පය තැබුවා.කෝපි කෝප්පයෙන් නැඟුණු උණුසුම් දුම සීතල වැහි සුළඟත් එක්ක මුසුවෙමින් ඉහළට නැඟුණා.ඒ මොහොතේම...
කොහේදෝ සිට මෘදු සේපාලිකා මල් සුවඳක් සුළඟත් එක්ක බැල්කනියට ඇතුළු වුණා.
රාවන් මොහොතකට දෑස් පියාගත්තා.
වැස්සේ සීතල...කෝපිවල උණුසුම...
සේපාලිකා මල් සුවඳ...ඒ හැමදේම අතරින් ඔහුගේ හිත නම් තවත් තදින්ම එකම තැනක නතර වෙලා තිබුණා.
පප්පා කොහෙද...?
අහස හදිසියේම දීප්තිමත් වුණා.
විදුලි රේඛාවක් කළු වලාකුළු අතරින් ඇදී ගිහින්, එහි සුදු ආලෝකය රාවන්ගේ රන් පැහැති සම මත මොහොතකට තැවරුණා.
ඊළඟ තත්පරයේ මහ ගිගුරුමක් වලව්ව පුරා පැතිරුණා.
රාවන් දෑස් විවර කරලා ඈත වැස්ස දිහා බැලුවා.ඒ ඇස්වල තිබුණේ වැස්සේ අඳුරටත් වඩා ගැඹුරු නොසන්සුන්කමක්.ඔහුට තවමත් නොතේරුණත්...අද උදෑසන ආරාමය දෙසට ගිය ඩැනීගේ ගමන,
වලව්වේ සන්සුන් ජීවිතය ආයෙත් කවදාවත් පෙර තිබුණු විදිහට නොතබන බවට ඉරණම දැනටමත් තීරණය කරලා තිබුණා.
“බේබි මහත්තයා... කෝපි එක.”
පාල නැවතත් කෝපි කෝප්පය රාවන්ට මතක් කළේ, තව ටික වේලාවක් ගත වුණොත් උණුසුම සම්පූර්ණයෙන්ම අඩු වෙයි කියලා හිතලා.රාවන්ගේ දෑස් තවමත් ඈත වැස්ස දිහාම තිබුණා.
“හ්ම්...”
මොහොතක් නිහඬව සිටි ඔහු අවසානයේ හෙමින් කිව්වා.
“පස්සේ බොන්නම්... පාල, තියලා යන්න.”
“ලොකු හාමු රෑ කෑමට එයිද බේබි මහත්තයා?”
රාවන්ගේ මුහුණේ නොසන්සුන්කම මඳක් තද වුණා.
“ දන්නෙ නෑ... පප්පා කතා කළෙත් නෑ.”
ඔහු මොහොතක් කල්පනා කරලා කිව්වා.
“කෝකටත් කෑම ලෑස්ති කරන්න.”
“එහෙමයි බේබි මහත්තයා.”
පාල හිස නමාගෙන නිහඬව පිටව ගියා.කාලය හෙමින් ගෙවිලා ගියා.රාවන් අවසානයේ නෙලුම්ට කෙටි පණිවිඩයක් යැව්වෙ ඇය එය කොයි මොහොතේ හෝ දකීවි යන අදහසින්
"හෙට උදෙන්ම මම එනවා ඔයාව එක්කන් යන්න.මාත් එක්ක එන්න ලෑස්තිවෙලා ඉන්න....?"
හවස් අහසේ තිබුණු අඳුරු වලාකුළු තවත් ඝන වෙද්දී, වලව්ව වටා රාත්‍රියේ අඳුර සෙමින් පැතිරෙන්න පටන් ගත්තා. තැනින් තැන දැල්වුණු පහන්වල මඳ කහ පැහැති ආලෝකය තෙමුණු ගල් පඩි මතත්, දිගු කොරිඩෝවලත් වැටිලා තිබුණා.
වැස්ස නම් තවමත් සම්පූර්ණයෙන් නතර වෙලා තිබුණේ නැහැ.
හෙමින් හෙමින් වැටෙන වැහි බිඳු...
තෙත කොළ මතට වැටී නැඟෙන මෘදු හඬ...ඈත ගස් අතරින් හමා එන සීතල සුළඟ...ඒ හැමදේම එකතු වෙලා වලව්ව පුරා අමුතුම නිහඬ රාත්‍රියක් මවා තිබුණා.රාවන් තවමත් බැල්කනියේ.
දවස පුරා ඔහුගේ හිතට වද දුන් සිතුවිලි එක්ක සටන් කරමින් සිටි ඔහුට, නොදැනීමම හාන්සි පුටුවේම නින්ද ගිහින් තිබුණා.හිස මඳක් පසෙකට නැමිලා...දෑත් නිදහසේ පුටුවේ අත්වාරු මත වැටිලා...මුහුණේ තිබුණු දවස පුරාම රැඳුණු නොසන්සුන්කමත් නින්දත් එක්ක මඳක් මැකිලා ගිහින් තිබුණා.
වැස්සේ හිරිකඩ තවමත් බැල්කනියට ඇතුළු වෙමින් තිබුණා.
ඒ සීතල ඔහුගේ මුහුණත්, නිරාවරණය වූ දෑත්ත් ස්පර්ශ කරමින් ගියත්, ඔහු ඒ කිසිවක් නොදැන නිහඬව නිදාගෙන හිටියා.
ටික වේලාවකට පස්සේ පාල ආයෙත් උඩුමහලට ආවේ කෝපි කෝප්පයත් බඳුනසියත් රැගෙන යන්න.
බැල්කනියට පැමිණි ඔහු මුලින්ම දැක්කේ මේසය මත තිබුණු කෝපි කෝප්පය.කෝපි එක...එක උගුරක්වත් බීලා තිබුණේ නැහැ.
උදෑසන සිට ඔහුගේ හිතේ තිබුණු කලබලයත් එක්ක ගෙනා ඒ උණුසුම් කෝපි කෝප්පය, දැන් සීතල වෙලා තිබුණා.පාලා මඳක් හිස සොලවා රාවන් දෙස බැලුවා.
“පව්... බේබි මහත්තයා...”
ඔහුට නොදැනීම මුවින් හෙමින් පිටවුණා.ඊළඟ මොහොතේ ඔහුගේ දෑස් රාවන් වෙත නතර වුණා.
වැහි හිරිකඩින් තෙමුණු බැල්කනියේ මඳ ආලෝකය අතරින්, රාවන්ගේ කඩවසම් රුව නිහඬව දිස් වුණා.
දවස පුරාම බරව තිබුණු ඒ තරුණ මුහුණ දැන් නින්දේදී පුදුමාකාර ලෙස අහිංසක වෙලා.කෙස් රැලි කිහිපයක් නළල මතට වැටිලා තිබුණා.වැහි සුළඟට ඔහුගේ ඇඳුමේ කොනක් සෙමින් සෙලවුණා.
ඒ දසුන දකිද්දී පාලගේ හිතට අනුකම්පාවක් දැනුණා.වෙනදා වලව්ව පුරා සිනාසෙමින්, කතා කරමින් අපහසුවෙන් කිහිලිකරුවෙන් ඇවිදින බේබි මහත්තයා...අද මේ තරම් නිහඬව නිදාගෙන සිටින්නේ, හිතේ තිබුණු බර නිසාම වෙන්න ඇති.
පාල කිසිම ශබ්දයක් නොකර ආපහු ඇතුළට ගියා.මොහොතකින් ඔහු නැවත ආවේ මෘදු පොරෝනයක් රැගෙන.රාවන්ගේ නින්දට බාධා නොවන තරමට සෙමින් ඔහු අසලට ගිය පාල, පොරෝනය ඔහුගේ සිරුර මතින් ආවරණය කළා.
වැහි සුළඟ තවමත් බැල්කනියේ තිර රෙදි සෙමින් සෙලවුවා.පාල අවසන් වරට රාවන් දෙස බැලුවා.
“සීතල අල්ලයි බේබි මහත්තයට..”
ඉතා පහත් හඬින් කියපු ඔහු, කෝපි කෝප්පයත් බඳුනසියත් අරගෙන නිහඬවම පිටව ගියා.
බැල්කනියේ ඉතිරි වුණේ වැස්සේ මෘදු හඬත්, පහන් එළියේ වැටුණු අඳුරු සෙවණැලිත්, පොරෝනය යට සැනසිල්ලේ නිදා සිටි රාවන්ගේ නිහඬ හුස්මත් විතරයි.
ඒත්...වලව්වෙන් ඈත, අඳුරු වැසි රාත්‍රියක, ඩැනීගේ ගමන තවමත් අවසන් වී තිබුණේ නැහැ.
ඒ එක්කම...වලව්වේ විශාල ගේට්ටුව විවර වෙන හඬ වැසි හඬ අතරින් පැහැදිලිව ඇසුණා.
ඊළඟ මොහොතේ, තෙත පාර දිගේ රෝද ගමන් කරන හඬත් එක්ක වාහනයක් වලව්ව ඇතුළට පැමිණෙන හඬ ඇසුණා.පාල ඒ හඬ ඇසුණු ගමන්ම කඩිමුඩියේ පහළ මාලයට බැසගෙන ගියා.
ඒ වාහන හඬත් එක්කම රාවන්ගේ නින්දත් බිඳුණා.ඔහු මොහොතක් දෑස් විවර කරලා වටපිට බැලුවා.
වැහි සුළඟ...තෙත් රාත්‍රියේ සීතල...
ඒ අතරින් නැවතත් ඇසුණු වාහනයේ එන්ජිමේ හඬ.රාවන්ගේ දෑස් එකවරම විශාල වුණා.ඒ හඬ ඔහු හොඳින්ම හඳුනනවා.ඩැනීගේ වාහනයේ හඬ.
“පප්පා...”
ඔහුගේ මුවින් නොදැනීම වචනයක් පිටවුණා.තවමත් නින්දේ බර තිබුණු දෑස්වලට එකවරම නොසන්සුන්කමක් එකතු වුණා.පොරෝනය පසෙකට කළ රාවන්, සෙමින් නැඟිටින්න උත්සාහ කළා.
කකුලට දැනුණු වේදනාවත් එක්ක මුහුණ මඳක් ඇකිළුණා.ඒත් ඔහු නතර වුණේ නැහැ.අත්වාරු තදින් අල්ලාගෙන
ඉතා අපහසුවෙන් බැල්කනියේ වැට ළඟට ගිය ඔහු, බරාඳයේ අත්වැටට එක් අතක් තබාගෙන පහළ බලාගත්තා.
වැස්සෙන් තෙමුණු පෝටිකෝව පහන් එළියෙන් දිලිසෙමින් තිබුණා.
වාහනයේ ඉදිරිපස පහන් දෙකේ ආලෝකය වැසි තිරය අතරින් කපාගෙන ගිහින් තෙත ගල් බිම මත දිගු රේඛා දෙකක් මැවුවා.රාවන්ගේ හදවත වේගයෙන් ගැහුණා.පප්පා ඇවිල්ලා...උදෑසන සිට ඔහුගේ හිතේ තිබුණු එකම ප්‍රශ්නයට දැන් පිළිතුරක් ලැබුණා.
ඒත් පප්පා ආපහු ආවේ කොහෙන්ද?
ආරාමයේදී මොනවා සිදුවුණාද?
ඇයි පප්පා කිසිම ඇමතුමකට පිළිතුරු නොදුන්නේ?ඒ ප්‍රශ්න සියල්ලම එකවර රාවන්ගේ සිත තුළ නැඟී ආවා.
ඔහු පහළ පෝටිකෝව දෙසම බලාගෙන සිටියා.
වැසි බිඳු තවමත් බැල්කනියට ගසාගෙන එමින් ඔහුගේ මුහුණ තෙමුවා.ඒත් රාවන්ට ඒ සීතලවත් දැනුණේ නැහැ.ඔහු බලා සිටියේ... පැය ගණනක් තිස්සේ තමන් බියෙන් බලා සිටි ඒ මොහොත දෙසයි.
පප්පාගේ වාහනයේ දොර සෙමින් විවෘත වුණා.රාවන්ගේ ඇස් තවත් තියුණු වුණා.
රියදුරු මුලින්ම වාහනයෙන් බැස්සා. වැස්සෙන් තෙමුණු ඔහු ඉක්මනින්ම පාල වෙත ගියා.
“පාල.. ඉක්මනට එන්න.”
ඔහු පහත් හඬින් මොනවාදෝ කියද්දී, පාලගේ මුහුණත් එකවරම වෙනස් වුණා.
“ලොකු හාමු...?”
ඔහුට ඉතිරිය කියාගන්නත් බැරි වුණා.
රියදුරු ඉක්මනින්ම වාහනයේ පසුපස දොර විවෘත කළා.ඒ මොහොතේ...
පාලගේ දෑස් පුදුමයෙන් විශාල වුණා.
වාහනය ඇතුළේ සිටියේ ඩැනී.
නමුත්...ඒ ඩැනී නොවෙයි වගේ.
සාමාන්‍යයෙන් තමන්ගේ පියවරක්වත් අසංවර නොවන, කෙළින් හිසතියාගෙන ගමන් කරන සූරියබණ්ඩාර වලව්වේ ලොකු හාමු...
අද වාහනයේ අසුන මත සිහිසුන්ව වගේ වැතිරිලා හිටියා.
ඔහුගේ දෑස් අඩවන්ව තිබුණා. හිස පැත්තකට වැටිලා. ඇඳුම් අවුල් වෙලා තිබුණා.මත්පැන්වල තද ගන්ධයක් වාහනය ඇතුළෙන් පිටතට පවා දැනුණා.
“අනේ... ලොකු හාමු.. මේ මොකද මේ....”
පාලගේ හඬ වෙව්ලුවා.රියදුරුත් එක්ක ඔහු ඩැනීව වාහනයෙන් පිටතට ගන්න උත්සාහ කළා.ඒත් ඩැනීගේ සිරුර ඔවුන් දෙදෙනාටම බර වුණා.
“අල්ලගන්න... අල්ලගන්න මහත්තයාව...වැටෙයි...බලාගෙන...”
රියදුරු කියද්දී පලා ඔහුගේ එක් අතක් තම උරහිස මතට ගත්තා.ඒ අතරේ කොහේදෝ සිට ජේමිස් දුවගෙන ආවා.
“මොකද වෙලා තියෙන්නේ?”
ඔහු අසන ගමන්ම ඩැනීව දැකපු විට කතාව නතර වුණා.
“ලොකු හාමු...?”
කිසිවෙකුට පිළිතුරක් දෙන්න තරම් වෙලාවක් තිබුණේ නැහැ.තුන්දෙනාම එකතු වෙලා ඩැනීව වත්තම් කරගත්තා.වැස්සෙන් තෙමුණු පෝටිකෝව හරහා ඔවුන් ඩැනීව වලව්ව ඇතුළට රැගෙන ගියා.
උඩ බැල්කනියේ සිටි රාවන් ඒ හැමදේම බලාගෙන හිටියේ ගල් පිළිමයක් වගේ.
ඔහුගේ දෑස් ඩැනීගෙන් මොහොතකටවත් ඉවතට ගියේ නැහැ.
ඔහුට ඒ දසුන විශ්වාස කරන්න බැරි වුණා.
පප්පා...කවදාවත්...කෙළින් ඉන්න බැරි තරමට මත් වෙලා ඉන්නවා ඔහු දැකලා තිබුණේ නැහැ.ඩැනී මත්පැන් නොගන්න කෙනෙක් නෙවෙයි.
ඉඳහිට, අවස්ථාවක් ලැබුණොත්, සීමාව දැනගෙන මත්පැන් පානය කරන බව රාවන් දැනගෙන හිටියා.
ඒත්...ඒ ඔහු තමන්ගේ පාලනය කවදාවත් නැති කරගත්තේ නැහැ.
අද...තමන්ගේ පියාට තමන්ගේම දෙපයින් කෙළින් සිටගන්නවත් බැරි වෙලා.රාවන්ගේ හදවත වේගයෙන් ගැහෙන්න පටන් ගත්තා.
“පප්පා...”
ඔහුගේ මුවින් හෙමින් පිටවුණා.
ඩැනීව කාමරය දෙසට රැගෙන යන ඒ රුව දිහා බලාගෙන සිටි රාවන්ගේ සිත තුළ එකම ප්‍රශ්නයක් නැවත නැවතත් නැඟුණා.
“ආරාමයේදී මොකක්ද වුණේ..නෙලුම්ව දැක්කද දන්නෙත් නෑ....?”
පිටත අහස තවත් වරක් ගිගුරුම් දුන්නා.වැසි බිඳු පෝටිකෝවේ වහලයට තදින් පහර දෙද්දී, රාවන්ගේ හිත ඇතුළේත් ඒ වගේම කුණාටුවක් නැඟෙමින් තිබුණා.........................................................................
ලයනල්ගේ සුඛෝපභෝගී නිවසේ විශාල විසිත්ත කාමරය, රාත්‍රියේ මඳ අඳුරකින් වැසී තිබුණා. විශාල වීදුරු ජනේලවලින් පිටත පෙනුණේ වැසි බිඳු එකිනෙක ගැටෙමින් පහළට රූරා වැටෙන අඳුරු රාත්‍රියයි. වරින් වර අහස පුරා විදුලි රේඛාවක් ඇදී යද්දී, කාමරයේ තිබුණු වීදුරු සැරසිලි මොහොතකට සුදු ආලෝකයෙන් දිලිසුණා.
ලයනල් සුවපහසු සෝෆාවක හිඳගෙන සිටියේ අතේ තිබුණු වටිනා වීදුරු කෝප්පය සෙමින් කරකවමින්.
ඔහු ඉදිරියේ හිටගෙන සිටියේ අසේල.
ලයනල් මොහොතක් ඔහු දෙස තියුණු බැල්මක් හෙළුවා.
“අසේල...”
“මං කිව්ව විදිහටම හොඳට ඇහැ ගහගෙන ඉන්න ඕනේ. තේරුණාද...?”
එහෙම කියමින් ලයනල් තම අතේ තිබුණු මුදල් නෝට්ටු කිහිපයක් අසේලගේ අත මත තැබුවා.
අසේල ඒ මුදල් දිහා බැලුවේ බියත්, ලෝභයත් අතර සිරවුණු මිනිසෙකු වගේ.
“අනේ මන්දා සර්...”
ඔහුගේ හඬේ තිබුණේ සැබෑ බියක්.
ලයනල් මඳ සිනාවක් පෑවා.
“බය වෙන්න එපා අයිසේ... මං තමුසෙට හොඳට සලකනවා.”
ඔහු සෝෆාවේ පිටුපසට සෙමින් හේත්තු වුණා.
“මං කිව්වේ මහ ලොකු වැඩක් නෙවෙයි.”
මොහොතකට නිහඬව සිටි ඔහුගේ දෑස් තියුණු වුණා.
“ඔය රාවන් මහත්තයා... කෝල් කරන්නේ කාත් එක්කද කියලා බලනවා.”
“කතා කරන්නේ මොනවද කියලා ටිකක් හොයලා බලනවා.”
“ඒක කරන්න පුළුවන් තමුසෙට විතරයි අයිසේ.”
අසේල නොසන්සුන්ව දෙඅත් එකට පටලවා ගත්තා.
“අනේ සර්... මේවා රාවන් සර් දැනගත්තොත් නම්... මාවත් මරයි.”
ලයනල්ගේ මුවේ තිබුණු සිනාව තවත් පළල් වුණා.
“පිස්සුද අයිසේ?”
ඔහු පහත් හඬින් කිව්වා.
“මේවා දන්නේ තමුසෙයි මායි විතරයි.”
ඊළඟට ඔහු වීදුරු කෝප්පය මේසය මත තැබුවා.
“අනික... ඔය ඩැනී මහත්තයා වුණත් ඔහොම ඉන්නේ මං නිසා.”
අසේලගේ මුහුණේ බිය තවත් තද වුණා.
“තමුසෙ
කිසි දේකට බය වෙන්න එපා.”
“රාවන් සර් කෝල් කරන්නේ කාටද කියලා මං කොහොමද සර් බලන්නේ සර්..?”
අසේල අසරණව ඇහුවා.
“රාවන් මහත්තයා කවදාවත් මං ඉද්දි ප්‍රයිවට් කෝල් ගන්නේ නෑ.”
ලයනල්ගේ ඇස්වලට අමුතුම තියුණු බවක් ආවා.
“අන්න බලනවා අයිසේ...”
ඔහු හෙමින් ඉදිරියට නැමුණා.
“ඒක තමයි.”
“මං කිව්වේ... මොකක් හරි හොරයක් තියෙයි.”
අසේල නිහඬව බලාගෙන හිටියා.
“තමුසෙ ටිකක් හොඳට ඇහැ ගහගෙන ඉන්නවා.”
“එයා කාත් එක්ක කතා කරනවද... කොහෙටද යන්නේ... කාගෙන්ද කෝල් එන්නේ... පුංචි දෙයක් වුණත් මට කියනවා.”
“හැබැයි...”
ලයනල්ගේ හඬ එකවරම සීතල වුණා.
“මේ ගැන කටක්වත් හොල්ලන්න බෑ.”
“තේරුණාද?”
අසේල ඉක්මනින් හිස වැනුවා.
“එහෙමයි සර්...”
ලයනල් ආයෙත් සෝෆාවේ පිටුපසට හේත්තු වුණා.
පිටත වැස්ස තව තවත් තද වුණා.
වීදුරු ජනේලය මත වැටෙන වැහි බිඳු, කාමරය පුරා පැතිරුණු නිහඬතාවය අතර අමුතුම රිද්මයක් මැව්වා.
එහෙත් ඒ සීතල රාත්‍රියේ, ලයනල්ගේ සිත තුළ නම් වැස්සකටවත් නිවා දැමිය නොහැකි ගින්නක් දැල්වෙමින් තිබුණා.
රාවන්ගේ දුරකථනයේ අනෙක් කෙළවරේ ඉන්න කෙල්ල කවුද...?
ඔහු මෙතරම් රහසක් සඟවන්නේ කාගෙන්ද...?
ලයනල්ට ඒ පිළිතුර දැනගන්න ඕනෑ වුණා.ඒ වෙනුවෙන්...ඔහුට කීයක් ගෙවන්න සිදු වුණත්, කී දෙනෙක් රවටන්න සිදු වුණත්, ඔහු සූදානම්ව සිටියා...........................................................................
ලොකු මෑණියන් වහන්සේ ඩැනී ආරාමයෙන් පිටව ගිය පසු, සෙමින් තම කුටිය දෙසට වැඩම කළා.
ඒ ගිය ගමන...ආයෙත් උන්වහන්සේ එළියට පැමිණියේ නැහැ.
කාලය ගෙවී ගියා.
උදෑසන නිස්කලංකව තිබුණු ආරාමය, හවස් වෙද්දී සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තිබුණා.
අහස කළු වලාකුළුවලින් වැහිලා ගිහින්. එකවරම අහස පුරා විදුලි රේඛාවක් ඇදී ගියා.
ඊළඟ මොහොතේ මහ ගිගුරුමක්...
ආරාමයේ පැරණි බිත්ති පවා ඒ හඬට කම්පා වුණා වගේ දැනුණා.
වැස්ස තදින් ඇද හැලෙමින් තිබුණා.
ආරාමයේ විදුලි ආලෝකයත් ඒ වන විට සම්පූර්ණයෙන්ම නිවී ගිහින් තිබුණා. අඳුරු කොරිඩෝවල තැනින් තැන දැල්වුණු කුඩා පහන් කිහිපයක මඳ ආලෝකය පමණක් බිත්ති මත සෙවණැලි මවමින් තිබුණා.
සුළඟට පහන් දැල්ල සෙමින් සෙලවෙද්දී, ඒ සෙවණැලිත් බිත්ති දිගේ දිගු වෙමින්, කෙටි වෙමින් අමුතු හැඩ මැව්වා.
නෙළුම් තම කුටිය ඇතුළේ තනිවම හිටියා.ඇගේ දුරකථනය අතේ.
තිරය මත රාවන්ගේ නම තවමත් තිබුණා.ඇය නැවතත් ඇමතුමක් ගන්න උත්සාහ කළා.එහෙත්...කිසිම පිළිතුරක් නැහැ.රාවන්ගේ දුරකථනයට ඇමතුමක් ගන්නත් බැහැ.
ඇගේම දුරකථනයත් වරින් වර ජාලය අහිමි කරමින් තිබුණා.
නෙළුම්ගේ ඇඟිලි සීතල වෙලා ගියා.
“බේබිමහත්තයා.....”
ඇය ඉතා පහත් හඬින් ඔහුගේ නම කියාගත්තා.පිටත අකුණු සැරයක් වැදුණා.
එක මොහොතකට කවුළුවෙන් පිටත මුළු ආරාමයම සුදු ආලෝකයකින් දිලිසුණා.
ඊළඟ තත්පරයේ..ආයෙත් කළුවර.
නෙළුම්ගේ දෑස් කවුළුවෙන් එපිටට ගියා.
තෙත ගස් අතු සුළඟට දරුණු ලෙස සෙලවෙමින් තිබුණා. වැහි තිරය අතරින් පෙනුණු පහන් කිහිපයේ ආලෝකය තෙත් බිම මත දිගු සෙවණැලි මවා තිබුණා.
ඒ සෙවණැලි අතරින්, මොහොතකට කවුරුන් හෝ ගමන් කරනවා වගේ ඇයට පෙනුණා.නෙළුම් හුස්ම නතර කරගෙන බලාගෙන හිටියා.
ඒත්...
ඊළඟ අකුණු සැරයත් එක්ක ඇයට පෙනුණේ තෙත ගස් අත්තක් පමණයි.
ඇය දෑස් පියාගෙන දිගු හුස්මක් ගත්තා.
ඒත් හිතේ තිබුණු බය අඩු වුණේ නැහැ.
ලොකු මෑණියන් වහන්සේ කුටියට ගිය ගමන් එළියට ආවේ නැහැ.
රාවන්ගෙන් කිසිම ආරංචියක් නැහැ.
ඩැනී ආරාමයෙන් ගියේ මොන තත්ත්වයකින්ද කියලා ඇයටවත් හරියට තේරුමක් නැහැ.
ඒ හැමදේම අතරින්...
ඇගේ හිතට නැවත නැවතත් එකම සිතුවිල්ලක් ආවා.
අද මේ ආරාමයේ සිදුවෙමින් තිබෙන්නේ කාටවත් නොපෙනෙන දෙයක්...
පිටත මහ වැස්ස තව තවත් තද වුණා.
පහන් දැල්ලක් හදිසියේම නිවී ගියා.
කොරිඩෝවේ එක් කොනක තිබුණු අඳුරු සෙවණැල්ල තවත් දිගු වුණා.
නෙළුම් කවුළුවෙන් සෙමින් පසුපසට වුණා.
කුඩා පහන් ආලෝකයෙන් පත්තර පිටුව ගෙන, රාවන්ගේ පින්තූරය පපුවට තුරුල් කරගත්තා.
වැස්සේ සීතලත් එක්ක ඇගේ ඇඟිලි පවා මඳින් වෙව්ලුවා. පහන් දැල්ල සුළඟට සෙමින් සෙමින් සෙලවෙද්දී, බිත්තිය මත ඇගේම සෙවණැල්ල දිගට ඇදී ගොස් ආයෙත් හැකිළුණා.
ඒ මොහොතේ නෙළුම්ගේ මතකයට ආවේ මීට කළකට පෙර ගෙවුණු ඒ වගේම වැසි දවසක්.
හොඳටම හවස් වෙලා තිබුණා.
අහස පුරා කළු වලාකුළු එකතු වෙලා, එකින් එක අකුණු රේඛා අහස පුරා ඇඳෙමින් තිබුණා. මඳ වේලාවකට පස්සේ ඇද හැලුණු මහ වැස්ස නිසා කුස්සි අම්මාටත් ගෙදර යන්න බැරිවුණා.
"වැස්ස ටිකක් අඩුවෙනකන් ඉඳලා යමන් කෙල්ලෙ......."
එදා ඇය කියූ වචන තවමත් නෙළුම්ගේ මතකයේ පැහැදිලිවම තිබුණා.
වලව්ව පුරාම වැසි සුවඳ පිරී තිබුණා. මුළුතැන්ගෙයි ගිනි උදුනෙන් නැඟුණු දුම් සුවඳත්, තෙත පොළොවේ සුවඳත් එකට මුසුවෙලා තිබුණා.
වැස්ස අඩුවෙන පාටක් නොපෙනුණු නිසා, කුස්සි අම්මා තවත් වැඩ කිහිපයක් කරමින් හිටියා.
නෙළුම් නම් නිහඬවම මුළුතැන්ගෙයි පැත්තෙන් පිටතට ආවා.
කොරිඩෝව දිගේ වැසි පිනි බිඳු ඇගේ දෙපා අසලටම ගසාගෙන ඇවිත් තිබුණා. තෙත ගල් පොළොව මත ඇගේ පියවර සෙමින් සෙමින් සටහන් වෙද්දී, ඈත අහසින් ඇසුණු ගොරවන හඬ මුළු වලව්වම මොහොතකට කම්පා කළා.
ඒ අතරේ...
අඹ ගස යට වැටී තිබුණු අඹ කිහිපයක් ඇගේ දෑස්වලට හසු වුණා.
"මේ ටික ගෙදර ගෙනියන්න පුළුවන්..."
ඇය හෙමින් මිමිණුවා.ගවුමේ කොනක් මඳක් ඔසවාගෙන, වැසි බිඳු අතරින් ඇය ගස යටට ගියා. බිම තෙමී තිබුණු අඹ එකින් එක අහුලාගෙන, පරිස්සමින් ගවුමේ කොනට එකතු කරගත්තා.
ඒ මොහොතේම...අහස පුරා විශාල අකුණු රේඛාවක් ඇඳී ගියා.
එකවරම ඇගේ මුහුණ ආලෝකයෙන් නැහැවුණා.ඒත් ඒ ආලෝකය නිවී ගිය සැණින්, වලව්ව ආයෙත් වැසි අඳුරේ ගිලුණා.
නෙළුම් හිස ඔසවා වටපිට බැලුවා.
ඒ දවසේ...ඇයට තවමත් නොතේරුණු දෙයක්, ඒ වැසි අඳුර අතරින් ඇගේ ජීවිතයට හෙමින් හෙමින් ළං වෙමින් තිබුණා.
ඒ එක්කම...නෙළුම්ගේ කනට ඉතා මඳ අඩි ශබ්දයක් ඇහුණා.ඇය අතේ තිබුණු අඹ ටිකත් එක්කම නොසෙල්වී නතර වුණා.
කොරිඩෝවේ අනෙක් කෙළවරින් ඇසුණේ සෙරෙප්පු යුගලයක් ගල් පඩි මත තබන හඬ.ටිකෙන් ටික...
ඒ හඬ ළං වුණා.නෙළුම්ගේ හදවත එකවරම වේගයෙන් ගැහෙන්න පටන් ගත්තා.
ඇය හිස ඔසවා බැලුවා.
උඩුමහලේ සිට පහළට සම්බන්ධ වන පැරණි පඩිපෙළ දිගේ...
රාවන් සෙමින් සෙමින් පහළට බසිමින් හිටියා.
ඔහුගේ දඩබ්බරදෑස් තිබුණේ ඇය දෙසමයි.නෙළුම්ගේ මුහුණට එකවරම ලැජ්ජාවක් නැඟුණා.මේ වැස්සේ, අඹ අහුලන්න ඇවිත් තමන්ව බේබිමහත්තයා දැක්කොත් ඔහු අනිවාර්යයෙන්ම බනීවි කියලා ඇයට හිතුණා.
ඇය ඉක්මනින්ම අඹ ටික ගවුමේ කොනෙන් වසාගන්න උත්සාහ කළා.
රාවන් තව පඩි කිහිපයක් බැහැලා, පහළට පැමිණියා.
ඒත් ඔහු එකවරම ඇය ළඟට ආවේ නැහැ.වටපිට බලලා...
කොරිඩෝවේ ටිකක් ඈතින් නතර වුණා.
නෙළුම් ඔහු දෙස බලාගෙනම හිටියා.
රාවන් කිසිවක් නොකියා අසල තිබුණු කාමරයකට ඇතුළු වුණා.නෙළුම්ගේ හිතට පුංචි පුදුමයක් දැනුණා.
“ඇයි මාව දැක්කෙ නෑ වගේ එහෙම ගියේ...?”
ඇය තවමත් එතැනම හිටගෙන.
වැස්සෙන් තෙමුණු කොරිඩෝවට පහන් ආලෝකය වැටෙද්දී, ඒ ආලෝකය අතරින් ඇගේ සෙවණැල්ල දිගට ඇදී ගියා.තත්පර කිහිපයකට පස්සේ...
රාවන් ආයෙත් කාමරයෙන් එළියට ආවා.
ඔහු වටපිට බැලුවා.ඊට පස්සේ...
නෙළුම් දෙස බලා, කිසිම වචනයක් නොකියා අත සෙමින් ඉදිරියට දිගු කළා.
ඇයට ළඟට එන්න කියන සංඥාවක්.
නෙළුම්ගේ හදවත තවත් වේගයෙන් ගැහුණා
ඇය වටපිට බැලුවා.
කවුරුත් පෙනෙන්න හිටියේ නැහැ.
ආයෙත් රාවන් දිහා බැලුවා.
ඔහු තවමත් අත දිගු කරගෙන ඇය දෙස බලාගෙන.
ඒ බැල්මේ තිබුණේ
“මෙහෙට එන්න...”
කියන නිහඬ ආරාධනාවක්.
නෙළුම්ගේ දෙතොල් මත නොදැනීම පුංචි සිනාවක් ඇඳුණා.
ගවුමේ කොනේ රැඳුණු අඹ ටිකත් අල්ලාගෙන...ඇය සෙමින් ඔහු දෙසට පියවරක් තැබුවා.
නෙළුම් බියෙන් වගේම කුතුහලයෙන් පියවර කිහිපයක් තබමින් රාවන් සිටි කාමරය ළඟට ආවා.
ඇගේ අතේ තිබුණු අඹ ටික තවමත් ගවුමේ කොනට තුරුල් වෙලා තිබුණා.
“බේබි මහත්තයා...?”
ඇය ඉතා පහත් හඬින් කතා කරන්න හැදුවා විතරයි.එකවරම රාවන් ඉදිරියට පැන්නා.ඇය කිසිවක් තේරුම් ගන්නත් කලින්, ඔහු නෙළුම්ව සෙමින් ඇතුළට ඇදගෙන කාමරයේ දොර වසා දැමුවා.
ගවුමේ කොනේ රැඳුණු අඹ සියල්ලම බිමට විසිරුණා.
“අනේ...”
නෙළුම්ට වචනයක්වත් සම්පූර්ණ කරගන්න ලැබුණේ නැහැ.
රාවන් වහාම තම ඇඟිල්ල ඇගේ දෙතොල් මත තැබුවා.
“ශ්...”
ඒ එකම ඉඟියෙන් ඇය නිහඬ වුණා.
නෙළුම්ගේ දෑස් පුදුමයෙන් විශාල වුණා.
රාවන්ගේ මුහුණ ඇයට ඉතා ළඟින් තිබුණා. පිටත මහ වැස්සත්, අකුණු ගැසෙන හඬත් අතරේ ඔහුගේ උණුසුම් හුස්ම ඇගේ මුහුණට මඳින් දැනුණා.
ඇගේ හදවත වේගයෙන් ගැහෙන්න පටන් ගත්තා..
ඇගේ දෙපා මඳින් වෙව්ලුවා.
රාවන් ඇගේ දෑස් දෙසම හිතුවක්කාර විදිහට බලාගෙන, තවමත් නිහඬව ඇඟිල්ල දෙතොල් මත තබාගෙන හිටියා.
පිටත අකුණු සැරයක් අහස පුරා දිව ගියා.එක මොහොතකට කාමරය පුරා තිබුණු අඳුර සුදු ආලෝකයකින් පිරුණා.
ඒ ආලෝකය නිවී ගිය පසු...
ඔවුන් දෙදෙනා අතර ඉතිරි වුණේ වැස්සේ හඬත්, වේගයෙන් ගැහෙන හදවත් දෙකක හඬත් විතරයි.
................................SAYU..................................
♥️ඔන්න දවස ගානෙම කියවන්න ලයික් කරලා… කමෙන්ට් කරන්න ඕනි හොදේ..ඔයාගෙ අදහස් තමයි ඉතින් මට මේ කතාව ලියන එකෙන් ලැබෙන එකම වටිනාකම♥️මගේ ස්කිල් හදාගන්න ඒක ගොඩක් වටිනවා
♥️අනිත් අයටත් කියවන්න ශෙයාර් කරන්න.
♥️SAYU පේජ් එක ෆලෝ කරලා සම්පූර්ණ කතාව කියවන්න .